කොරෝනා ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 50ක් (වීඩියෝ)

මාර් 18, 2020
  • කොරෝනා වෛරසය ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් 9 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට අද තහවුරු කර ගැනීමත් සමඟ. වෛරසය ආසාදිත බවට සැක කෙරෙන 212 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරගැනීම සඳහා කරනු ලබන පී.සී.ආර්. පරීක්‍ෂණය පෞද්ගලික අංශයේ ප්‍රධාන රෝහල් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ.

    අධ්‍යාපන චාරිකා සහ විනෝද චාරිකා අද සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට කොරෝනා මැඩපැවැත්වීමට පත්කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කළේය. ඊට අවනත නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථාන ද අද සිට වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

    පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට සවස 4.30 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳරි නීතිය පනවා තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස මේ ක්‍රියාමාර්ගය ගත් බවයි. ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා බාරදීමට බාධාවක් නොමැති අතර, අදාළ ප්‍රදේශ හරහා පොදු ප්‍රවාහන සේවා හා අත්‍යවශ්‍ය සේවා සිදු කිරීමට හැකි බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

    බූස්ස නාවික හමුදා කඳවුරේ ද නිරෝධායන මධ්‍යස්ථානයක් පසුගියදා ස්ථාපනය කෙරිණ. එය මහල් 4කින් සමන්විතයි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබාදීම කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. නව මධ්‍යස්ථානයේ එකවර 136 දෙනෙකු නිරෝධායනය කළ හැක. නාවික හමුදාව පවසන්නේ, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ තම සූපවේදීන් විසින් පිසින ලද පෝෂදායී ආහාර නිරෝධායනයට පැමිණෙන්නන් සඳහා ලබාදීම සිදු කෙරෙන බවයි.

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නම්, ඊට ප්‍රතිකාර ලබාදීම සඳහා මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකයි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදිය කාන්තා රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, රාගම ශික්ෂණ රෝහල, මීගමුව සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඉන් කිහිපයක්. මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, යාපනය ශික්‍ෂණ රෝහල, මඩකලපුව මහ රෝහල, අනුරාධපුර ශික්‍ෂණ රෝහල කුරුණෑගල ශික්‍ෂණ රෝහල, බදුල්ල මහ රෝහල, රත්නපුර ශික්‍ෂණ රෝහල, පොළොන්නරුව මහ රෝහල, හලාවත මූලික රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල හා මොණරාගල, කළුතර, මාතර යන දිස්ත්‍රික් මහ රෝහල්වලින් මෙන්ම මාරවිල මූලික රෝහල මගින් ද ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ.

    වැලිකන්ද සහ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රෝග ලක්‍ෂණ පහළ වුවහොත් ඔවුන් සඳහා ප්‍රතිකාර කිරීමට වැලිකන්ද මූලික රෝහලේ විශේෂ ඒකකයක් ස්ථාපනය කර තිබේ. එහි රෝගීන් 50කට එකවර ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් පවතී.

    අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නියමයකට අනුව එය ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණයි. ඒ අනුව, කිසිදු ගුවන් මගියෙකුට රටට ඇතුළු වීමට අවසර නොලැබෙන අතර, එය සති දෙකක කාලයක් බලපැවැත්වෙන බව රජය පවසයි. කෙසේ වුව ද දඹදිව වන්දනාවේ ගොස් ඇති පිරිස් ගෙන්වා ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. දිවයිනෙන් පිටත්ව ගිය 300ක පමණ පිරිසක් මේ වනවිට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල රැඳී සිටින බව වාර්තාවේ. කොරෝනා මර්දන කාර්ය සාධන බලකාය සමඟ පැවති සාකච්ජාවේදී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, එම පිරිස කඩිනමින් ගෙන්වා ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

    දැනට ලබාගෙන ඇති සියළුම වර්ගයේ වීසාවල වලංගු කාලය මාර්තු 14 සිට දින 30ක කාලයක් දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබේ. සිය ආයතනය මගින් ලබාදෙන සේවාවන් කිහිපයක් ලබන 31 දක්වා අත්හිටුවීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    මාර්තු 16 සිට අප්‍රේල් 15 දක්වා කාලසීමාවේ අවලංගුවීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව ජුනි මස 30 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දෙයි.

    මේ අතර ආනයනික මුඛ ආවරණ සහ ආනනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. අදාල ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කිරීමට පියවර ගෙන ඇත.

    පාසල් නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා සියලු මාධ්‍ය සමඟ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් වූ විශේෂ හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (18) පැවැත්විණ. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

    අද වනවිට මධ්‍යස්ථාන 16ක 2287 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කරනු ලැබ සිටී. ඉන් 21 දෙනෙකු විදේශිකයන්. නිරෝධායනයට යොමු කර සිටියදී එම මධ්‍යස්ථානවලින් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදිතයන් සංඛ්‍යාව 19ක්.

    Last modified on බදාදා, 18 මාර්තු 2020 20:28

    Latest News