“කොවිඩ් 19“ ආසාදිතයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළට

මාර් 16, 2020

    “කොරෝනා වෛරසය“ ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව, 22 දක්වා අද ඉහළ ගොස් තිබේ.

    ඒ අද රෝගීන් 4 දෙනෙකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟයි. අද හඳුනාගත් රෝගීන් සිව්දෙනා අතර 13 හැවිරිදි දැරියක් සිටින අතර, අනෙක් පුද්ගලයන් වයස අවුරුදු 73,50 සහ 37 වියේ පසුවන්නන්. තිදෙනෙකු අයි.ඩී.එච්. බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පොලිසිය ඊයේ හඳුන්වාදුන් දුරකතන අංක සඳහා ලැබුණු ඇමතුම් අනුව කොරෝනා වෛරසය ආසාදිත වූ රටවල සිට පැමිණි පුද්ගලයන්, 880 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ, පසුගිය පළමු වැනිදා සිට 10 දක්වා.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන්, රජයේ ආයතන හා පොදු ස්ථානවල විෂබීජහරණය සඳහා ලබාදුන් නිවාඩුව දීර්ඝ නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    නිරෝධායන ක්‍රියාවලිය ද සාර්ථකව ක්‍රියාත්මකයි. මේ වනවිට 1800කට අධික පිරිසක් මධ්‍යස්ථාන 10ක නිරෝධායනය සඳහා යොමු කර තිබේ. තවත් මධ්‍යස්ථාන දෙකක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා සූදානම් කර ඇති බව යුද හමුදාව පවසයි.

    ලබන 23 වැනිදාට නියමිතව තිබූ ඌව-වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බඳවා ගැනී දින නියමයකින් තොරව කල් දමා තිබේ.

    කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් සියළුම කෞතුකාගාර ද අද සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ද හෙට සිට තාවගාලිකව වසා දමා තිබේ.

    “කොරෝනා වෛරසය“ හේතුවෙන් ඇල්ල ප්‍රධාන සංචාරක කලාපය ද අද තාවකාලිකව වසා දැමුණා. එය සති දෙකක් ක්‍රියාත්මක බව ඇල්ල ප්‍රාදේශීය සභා සභාපති බී.එම්.යූ.බී. බස්නායක මහතා පවසයි.

    අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදීත්, මහියංගනය නගර ආසන්නයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක සේවක-සේවිකාවන් 350කට අධික පිරිසක් අද සේවයේ යොදවා තිබූ බව වාර්තාවේ. සිද්ධිය සැලවීමත් සමඟ මහියංගන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහ පොලිසියේ නිලධාරීන් මැදිහත්ව එම සේවකයින් නිවෙස් කරා යොමු කරනු ලැබීය. ඇඟලුම් ආයතනයේ පාලනාධිකාරිය ද දැනුවත් කෙරිණ.

    සාමාන්‍ය නිවාඩු දිනයන්හිදී දෛනික කටයුතු සඳහා නගරවලට පැමිණෙන ජනතාවගේ විශාල අඩුවීමක් අද දක්නට ලැබිණ. අප වාර්තාකරුවන් පවසන්නේ, පොදු ප්‍රවාහන කටයුතු නියමිත පරිදි සිදු කෙරුණ ද මගීන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුණු බවයි. සුපිරි වෙළෙඳසැල් ආදියද විවෘතව තැබුණ ද පාරිභෝගිකයන්ගේ අඩුවක් දක්නට ලැබිණ.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට මුඛ ආවරණ 15,000ක් බෙදාදීම අද සිදු කෙරිණ. ඒ, සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන්ගේ සංවිධානත්වයෙන්.

    “කොරෝනා වෛරසය“ ආසදනයෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ජාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද පැවැත්විණ. එහිදී තොරතුරු දැනගැනීමට 041-2117117 සහ 041-2234134 යන දුරකතන අංක හඳුන්වා දී තිබේ.

    නිරෝධායන ක්‍රියාවලියෙන් මඟහැරගිය ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු අද පරීක්‍ෂාවට ලක් කෙරිණ. ඒ, හැටන් පොලිසියේ සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින්. කෙසේ වුව ද, ඔහු පසුගිය 3 වැනිදා මෙරටට පැමිණි ඇත. ඔහුට කොරෝනා බවට සැක කළ හැකි කිසිදු රෝග ලක්‍ෂණයක් මෙතෙක් දක්නට ලෙැබෙන අතර, නිවසේදීම ස්වයං නිරෝධායනයට නියැලෙන ලෙස උපදෙස් දී තිබේ.

    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහෙත් ඉල්ලුම්පත් යොමු කිරීමේ සාමාන්‍ය සේවාව සිදු කෙරේ. ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ බව ග්‍රාම නිලධාරී මගින් තහවුරු කර ඉල්ලුම්පත් යොමු කළ හැක.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ සෑම බදාදා දිනකම පවත්වන මහජන හමුව මේ සතියේ අවලංගු කර තිබේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, පැවැත්වීමට නියමිතව තිබූ විභාග රැසක් දින නියමයකින් තොරව කල් දමා ඇති බවයි.

    අ.පො.ස උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් බාරගැනීම මාර්තු 31 තෙක් සිදු කෙරෙනු ඇත. මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ අපේක්‍ෂකයන්ට අන්තර්ජාලය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ හැකියි. ගැටලු සඳහා 1911 ක්‍ෂණික අංකය ක්‍රියාත්මකයි.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැඩපැවැත්වීමට උත්සාහ දරමින් සිටින මොහොතක, ඇතැම් පාර්ශව දේශපාලන වාසි ලබාගැනීම සඳහා සමාජය තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවයි.

     

     

     

     

     

     

     

    Latest News