සායින්දමරුදු නගර සභාව අත්හිටුවීමට තීරණය කළා; අමාත්‍ය බන්දුල

පෙබ 20, 2020

    අම්පාර දිස්ත්‍රික්කයේ සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමට ගත් තීරණය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

    “සායින්දමරුදු නගර සභා බල ප්‍රදේශයක් බවට පත්කරන්න එවකට විෂය බාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට නියමයන් ඉදිරියට ගෙන යාම තමයි කරලා තියෙන්නේ. නමුත් කැබිනට් මණ්ඩලය තීරණය කළා රටේ එක් ස්ථානයකට පමණක් නොව අනෙක් පළාත්වලත් මෙවැනි අවශ්‍යතා තිබෙනවා. මේ පිළිබඳ පළාත් පාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමස්ත රට සලකා බලා අවශ්‍ය කරන විවිධ ප්‍රදේශවලට පළාත් පාලන බල ප්‍රදේශ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් එකවර රටටම කරන්න කියන තීරණය තමයි දුන්නේ. මේක අනුමත කළේ නැහැ. මම නියෝජනය කරන්නේ හෝමාගම මැතිවරණ කොට්ඨාසය. ඉතා විශාල ජන කොටසක් ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශයක්. පොහොට්ටුවට පමණක් ඡන්ද එක් ලක්‍ෂ හය දහසක් ලබලා දුන්නා. මට අවශ්‍යයි මේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක්. රටේ අනෙක් ප්‍රදේශවලටත් මෙවැනි අවශ්‍යතා තියෙනවා. රටට පොදුවේ තීන්දු ගැනීමකින් තොරව 2018 සම්මත වෙච්ච යෝජනාව ඉදිරියට ගෙනයාම තාවකාලික වශයෙන් අත්හිටුවන්න වෙයි“ යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    2024 වර්ෂය වනවිට සරසවි ප්‍රවේශයට හිමිකම් ලබන සිසුන් සංඛ්‍යාව දෙලක්‍ෂ හතළිස් දහස දක්වා වැඩි කිරීමට නියමිතයි. රජයේ නව සංවර්ධන ප්‍රතිපත්ති රාමුවට අනුකූලව 2020 අධ්‍යයන වර්ෂයේ සිට උසස් පෙළ සමත් සියලු සිසුන්ට උසස් අධ්‍යාපනය අවස්ථා සැලසීමට රජය පියවර ගෙන තිබේ. එම ඉලක්කය සපුරා ගැනීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ 30/1 ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළ යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    යල කන්නයේ සිට ගොවීන්ට පරිසර හිතකාමී කාබනික පොහොර නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ. එම නියමු ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවිය.

    ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගැණෙන ඇලුමිනියම් පවුඩර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ පූර්ණ බලය, ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට ලබාදීම සඳහා වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. පසුගිය ආණ්ඩු සමයේ ඇලුමිනියම් පවුඩර් ආනයනය කිරීම පෞද්ගලික අංශයට ද ලබාදීමෙන් මහජන ආරක්‍ෂාවට ගැටලුරැසක් ඇතිවිය. එය වැළැක්වීම මෙම යෝජනාවේ අරමුණයි.

    නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර යළි ආරම්භ කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, සීසාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම සඳහා ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය අහෝසි වනු ඇත.

    ශ්‍රී ලංකා පොලිසියේ හා විශේෂ කාර්ය බලකායේ සේවය අතහැර යාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීම සඳහා වූ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවිය. පළපුරුදු නිලධාරීන් යළි පොලිසියට එක්කර ගැනීම සඳහා අවස්ථාව සලසාදීම මෙහි අරමුණයි.

    Latest News