කොරෝනා ආසාදනය වූ තව කිසිවෙකු මෙරටින් හමු වී නැහැ; සෞඛ්‍ය අංශ (වීඩියෝ)

පෙබ 11, 2020
  • චීන ජාතික කාන්තාව හැර කොරෝනා ආසාදනය වූ කිසිවෙකු මෙතෙක් මෙරටින් හමුවී නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කටුනායක ගුවන් තොටුපොළේ සේවකයින් ඇතුළු කිහිප දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි, පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි. කොරෝනා ආසාදනය වූ චීන ජාතික කාන්තාව ද මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ. කෙසේ වුවද ඇය පිළිබඳ තවදුරටත් විපරමින් පසුවන බව, සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන 200කට ආසන්න පිරිසක් දිවයිනේ රෝහල් කිහිපයකදී පරීක්‍ෂා කෙරිණ. ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැත. මේ වනවිටත් පුද්ගලයින් 15 දෙනෙකු පරීක්‍ෂණ සඳහා යොමුකර තිබේ. වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම කෙරෙහි මුළුමනින්ම අවධානය යොමුකර ඇති අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන තොරු පදනම් විරහිත බව සෞඛ්‍ය අංශ පවසයි.

    වෛද්‍ය හේමන්ත හේරත්....

    “ගුවන් තොටුපොළ සේවකයෙක් හෝ ගුවන් සේවාවට සම්බන්ධ පුද්ගලයින් අතර මෙම රෝගය පැතිරීම පිළිබඳ විවිධ මත සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. අනියත බියක් ඇතිකර ගැනිමට අවශ්‍ය නැහැ. දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝගීන් සහ ගුවන් මගීන් පරීක්‍ෂා කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මගීන්ගෙන් ලබාගන්නා තොරතුරු ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ පදිංචි වෙලා ඉන්න ස්ථානවලට ගිහිල්ලා ඒ අයව පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විටින් විට නිකුත් කරන තොරතුරු මත පමණක් රඳා පවතමින් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා“ යැයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 20:17

    Latest News