කලාපයේ සෑම රටක් සමඟම අපට මිත්‍ර සබඳතා තියෙනවා; අගමැති

පෙබ 09, 2020

    19 වන ව්‍යවස්ථා සංශෝධනය, විශාල ගැටලුවක් බැවින් ඉන් ඉවත් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එසේම, වසරක් තුළ ගෙවීමට ඇති විශාලම ණය ප්‍රමාණය මේ වසරේ ගෙවීම පිළිබඳ වත්මන් රජයට විශ්වාස බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ණය ගෙවීම සඳහා ඉන්දියාව, වසර 3ක සහන කාලයක් ලබාදුනහොත්, සෙසු රටවල් ද එය අනුගමනය කරනු ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉන්දියාව සමඟ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීම වැදගත් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉන්දියාවේ “ ද හින්දු“ පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.

    ප්‍රශ්නය;
    ඔබගේ ආරක්‍ෂක ලේකම්වරයා පකිස්තානය සමඟ ආරක්‍ෂක සහ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ සාකච්ජා කලා. සාක් සංවිධානයේ ප්‍රගතියට පවා බාධා කරමින් පකිස්තානය තුළ ත්‍රස්තවාදය බිහිවීම පිළිබඳ ඉන්දියාව දැඩි කණස්සල්ලක පසුවන මොහොතක මෙය අපහසු දෙයක් නොවේද?
    පිළිතුර;
    ඔව්, එහෙත්, අපි මිත්‍ර රටවල්. කලාපයේ සෑම රටක් සමඟම අපිට මිත්‍ර සබඳතා තියෙනවා. චීනය සමඟත් අපි මිත්‍රශිලියි. නමුත්, ඉන්දීය සබඳතා වඩාත් ශක්තිමත් සහ අපට වැදගත්.

    ප්‍රශ්නය;
    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, බලය බෙදීමට වඩා සංවර්ධනයට ප්‍රමුඛතාව දී තිබෙනවා. ඔබගේ දැක්මෙහි එහි වෙනසක් තිබෙනවාද?
    පිළිතුර;
    නැහැ, මිනිසුන්ට ඕනේ සංවර්ධනය. එය නොමැතිව ඔවුන් 30 වසරක් දුක් වින්දා. ඉතිං පළමුව ඔවුන්ගේ අපේක්‍ෂාව ප්‍රදේශ සංවර්ධනය කිරීම.

    ප්‍රශ්නය;
    ශ්‍රී ලංකාවේ ජාතික දින උත්සවයේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, මතභේදයක් පවතිනවා. එවැනි වාතාවරණයක දෙමළ ජනයාට ඔබ සහතික වන්නේ කෙසේද?
    පිළිතුර;
    ඔබ ලෝකය දෙස බැලුවොත්, ජාතික ගීය ගායනා කරනු ලබන්නේ මූලික වශයෙන් එක් භාෂාවකින්. ඉන්දියාවේ ඔබට බොහෝ භාෂා තිබෙනවා. නමුත් ඔබේ ජාතික දිනවල, ඔබ එක් භාෂාවකින් පමණයි ජාතික ගීය ගායනා කරන්නේ. අපේ ව්‍යුහයත් ඒ හා සමානයි. සමහර දේශපාලන චරිත මෙම ප්‍රශ්නය මතු කළත්, සාමාන්‍ය ජනතාවට ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නැහැ.

    ප්‍රශ්නය;
    මේ වසරේ ඔබට ඇති ලොකුම අභියෝගය වන්නේ, ඩොලර් බිලියන 60ක් පමණ වන දේශීය සහ විදේශීය ණය ගෙවීමයි. මෙම ගැටලුව සමඟ කටයුතු කිරීමට ඔබ සැලසුම් කරන්නේ කෙසේද?
    පිළිතුර;
    එය අප ඉන්දීය රජය සමඟ ද සාකච්ජා කළ දෙයක්. ආර්ථික පුනර්ජීවනය ඇති කරන තෙක් වසර 3ක සහන කාලයක්, සියලු ණය ආපසු ගෙවීම සඳහා ලබාගත හැකි දැයි අප ඉන්දීය රජයෙන් විමසා තිබෙනවා. ඉන්දීය රජය එම පියවර ගන්නේ නම්, චීනය ඇතුළු අනෙකුත් රටවල් ද එලෙස කිරීමට එකඟ විය හැකියි. පසුගිය රජය මෙතරම් ණය ලබාගෙනත් ඔවුන් ආර්ථිකය අවුල් ජාලයක් බවට පත්කර තිබෙනවා.

    ප්‍රශ්නය;
    මෙම වසරේ පමණක් ඩොලර් බිලියන 5ක පමණ ණය ගෙවිය යුතු අතර, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම අගයයි. ඔබට එය කළ හැකිද?
    පිළිතුර;
    අපි එය කළ යුතු අතර, කෙසේ හෝ කළමනාකරණය කරනවා. කුමක් සිදුවුවත් ණය පැහැර හැරීමට අපට අවශ්‍ය නැහැ.

    ප්‍රශ්නය;
    ජනාධිපති ධූරයේ සිට අගමැති සහ පාර්ලිමේන්තුව වෙත බලය මාරුවන 19 වන ව්‍යවස්තා සංශෝධනය ඉදිරියට ගෙන යාමට ඔබ කටයුතු කරනවාද?
    පිළිතුර;
    19 වන සංශෝධනයෙන්, අප ඉවත්විය යුතුයි. ඉදිරියට යාම පිළිබඳව ඉන් අනතුරුව සිතා බලන්න ඕනේ. ජී.එල්. පීරිස් මහතා දැනටමත් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටිනවා. මේ වනවිට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට පැහැදිළි බලතල නැහැ. එම නිසා බලය බෙදීම පිළිබඳ අප තීරණය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් බහුතරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් ඡන්දය ලබාදුන් අතර, ඉන් අදහස් කෙරෙන්නේ ඔහුට රටේ සංවර්ධනය හා පාලනය පිළිබඳ බලය ලබාදීමට ජනතාවට අවශ්‍ය බවයි. අප එයට ගරු කළ යුතුයි.

    ප්‍රශ්නය;
    ජනාධිපතිවරයා ඔබේ සහෝදරයා බැවින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඔබ දෙපළ අතර ගැටලු ඇති කළ හැකිද?
    පිළිතුර;
    නෑ...නෑ... වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යුහගත වී ඇති ආකාරය සහ එහි ඇති වියවුල් සහගත තත්වය හැසිරවිය හැක්කේ, වත්මන් ජනාධිපතිතුමා සහ මා වැනි සහෝදරයන් දෙදෙනෙකුට පමණයි. ඒ හැර කිසිදු ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් මේ සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණිමට නොහැකි වනු ඇති.

    Latest News