"කොටස් වෙළඳපළ යළි යථා තත්වයට ගෙන එනවා" - අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

ජන 22, 2020

    කඩා වැටී ඇති කොළඹ කොටස් වෙළඳපළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

    කිසිම හේතුවක් මත කිසිඳු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවද ඔහු කියා සිටී.

    කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර සමාගම් නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය වසර හතරහමාරක කාලය තුළදී රට වසර 15ක් ආපස්සට ගමන්ගත් බවයි.

    පැවැති රජයේ අකාර්‍යක්‍ෂම පාලනය හේතුවෙන් විනාශ වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට වත්මන් රජය කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය වසර හතරහමාරක කාලය තුළදී කොළඹ කොටස් වෙළඳපොළ බරපතල අන්දමින් කඩා වැටීමකට ලක්වූ බැවින් කොටස් තැරැව්කාර සමාගම් විශාල ප‍්‍රමාණයක් වසාදමා ඇතැයි ද මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමිව තිබෙන බව එහිදී නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.

    කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ නංවා ගැනීම සඳහාත් විදේශීය ආයෝජන මෙරටට ගෙන්වාගැනීම සඳහාත් සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජන සඳහා යොමුකළ යුතු බව මෙහිදී එම සමාගම් අවධාරණය කළහ.

    Latest News