ආර්ථිකය ගොඩගන්න සංචාරක කර්මාන්තයට නව මූලෝපායන් රැසක්

ජන 16, 2020

    රටේ වේගවත් ආර්ථික සංවර්ධනයට සංචාරක කර්මාන්තය ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා සඳහන් කළේ 2025 වනවිට අමෙරිකානු ඩොලරි මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අරමුණ බවයි. ඒ සඳහා සංචාරක ක්‍ෂෙත්‍රය දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ලොව ප්‍රකට සී.එන්.එන්. පුවත් සේවය මේ වසරේ සංචාරයට සුදුසු හොඳම ස්ථාන 20 අතරට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ. ඊට අමතරව කරුණු 35ක් පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුතු බව, දෙස්-විදෙස් සංචාරක වෙබ් අඩවි කිහිපයක් මත පළ කර තිබේ. මෙරට ඉතිහාසය පැරණි මාළිගා, පෞරාණික නටබුන්, විහාරස්ථාන, වනජීවි මෙන්ම රට තුළ පවත්නා සොබා සෞන්දර්ය හේතුවෙන් ශ්‍රී ලංකාව නැරඹිය යුතුම ස්ථාන අතර තවමත් පෙරමුණේ පසුවේ. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, සංචාරක ආකර්ශනයට ලක්වූ ස්ථාන වැඩි දියුණු කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.....

    “කාර්ය සාධක බලකායක් හඳලා තියෙනවා පොදුවේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. ඒකට සති දෙකක කාලසීමාවක් ඒ අය ඉල්ලලා තිබ්බා. පෞරාණික වටිනාකම්වලින් යුතු දේවල් බලන්න. මුහුද සම්බන්ධ කරන ක්‍රීඩාවන්. ඩොල්ෆින් වගේ සත්තු බලන්න. ඔවුන් සමඟ පිහිනුම් කරන්න. ඒ අයට හානියක් නොවන පරිදි ඒ කටයුත්ත සංවිධානය වෙන්න ඕනේ. හඳුනාගත් ක්‍ෂේත්‍ර හඳුනාගෙන සංවර්ධනය කිරීම ඒ සංචාරක අමාත්‍යාංශයේ වගකීමක්. ඒකට තමයි මේ කමිටුව අපි සකස් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඉලක්කය පසුකර යන්න පුලුවන් වැඩපිළිවෙළක් හදන්න තමයි ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නේ. ඒ සඳහා අපි අභියෝග බාර අරගෙන කටයුතු කරනවා“ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    මෙරටට පැමිණෙන සංචාරකයින්ට ලබාදෙන පහසුකම් ද වැඩි දියුණු කළ යුතුයි. සෘජු ගුවන් සේවා, සංචාරක හෝටල් ඇතුළු ඔවුන්ට සැපයෙන පහසුකම් තවදුරටත් වර්ධනය ඒ අතර ප්‍රධානයි. සංචාරක ක්‍ෂේත්‍රයේ වර්ධනයත් සමඟ ඒ ආශ්‍රිතව ජීවන වෘත්තීන්හි නියැලෙන මෙරට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද රජය සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Latest News