මහපොළ හිඟ වාරික ගෙවීමට ඇමති බන්දුලගෙන් උපදෙස් (වීඩියෝ)

ජන 11, 2020
  • මෙතෙක් ගෙවා නොමැති මහපොළ වාරික ඉදිරි සතියේ දී ගෙවා අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන.....

    “මම බොහොම පැහැදිලිව ප්‍රතිඥාවක් දෙනවා. 20-20 ජනවාරි මාසයේ ඉඳන් ඊට පසුව මහපොළ වාරිකය හිඟ වුණා කියන තත්වය ඇතිවෙන්නේ නැතුව සෑම මසකම 15 වැනිදා වනවිට කිසිදු හිඟයකින් තොරව සියලුම ශිෂ්‍යයන්ට ලැබිය යුතු ශිෂ්‍යාධාරය අඛණ්ඩව අපේ ආණ්ඩුව නිමවෙන තෙක් පවත්වාගෙන යන්න අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. ඒ නිසා පසුගිය මාසවල හිඟවෙලා තියෙන මුදල් වහාම ගෙවන්න කියලා මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යතුමා භාණ්ඩාගාරයට නියම කරලා තියෙනවා. ඒ අනුව මේ සතිය තුළ ඒ මුදල් ලැබෙනවා. මහපොළ රුපියල් දස දහස දක්වා වැඩි කරන්න කියන ඉල්ලීම තමයි ප්‍රධාන ඉල්ලීම ලෙස තිබුණේ. ඉදිරි මැතිවරණයෙන් පසු අලුත් අය-වැය ලේඛනයක් ඉදිරිපත් වන අවස්ථාවේදී අවශ්‍ය යෙන්ම ඒ මහපොළ දැනට ලබාදෙන ශිෂ්‍යාධාරය වැඩිකරන්න කටයුතු යෙදලා තියෙනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මහපොළ අරමුදලේ සිදුව ඇති බව කියන වංචාවක් පිළිබඳව ද මෙහිදී හෙළි කෙරිණ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන....

    “මේ මහපොළ අරමුදල වර්ධනය වෙලා අද වෙනකොට මහපොළේ තියෙනවා රුපියල් බිලියන 10.5ක්. ඒ මුදල ආයෝජනය කිරීම සඳහා වෙනම සමාගම් තියෙනවා ආයෝජනය කරලා ආදායම් උපදවාගන්න. පසුගිය රජය සමයේ දී ආදායම් උපදවා ගන්න එකෙන් රුපියල් බිලියන දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් මහ දවල් මහබැංකුවේ හොරකම වගේම හොරකමක් සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මම ඇමතිවරයා වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළට ගිහිල්ලා ලිඛිතව මේ මුදල මහපොළට මට අයකරලා දෙන්න කියලා ඉල්ලා සිට තියෙනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    මහපොළ අරමුදල ඉහළ නැංවීමට නව වැඩසටහනක් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන....

    “බිලියන 10 දක්වා ගෙනල්ලා තිබුණ අරමුදල මේ වසර පහ තුළ දී තවත් බිලියන 10කින් වැඩිකරලා බිලියන 20ක අරමුදලක් කිරීම සඳහා වැඩසටහනක් කරමු කියලා යෝජනා කිරිම තමයි අද මේ මාධ්‍ය සාකච්ජාවේ පරමාර්ථය“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    විශ්වවිද්‍යාල ප්‍රජාව ඒකරාශී කර ගනිමින් ලොතරැයියක් අලෙවි කිරීමෙන් අරමුදල් රැස්කිරීම, මහපොළ ප්‍රතිලාභ ලැබූ දැනට රැකියා නියුක්තිකයින්ගෙන් ඔන්ලයින් ක්‍රමයට කිසියම් දායකමුදලක් ලබාගැනීම, මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය දිස්ත්‍රික් මට්ටමින් නැවත සංවිධාන කර අරමුදල් රැස් කිරීමට ද යෝජනා කර තිබේ. ඊට අමතරව, විශ්වවිද්‍යාල පාඨමාලාවට ලැබෙන ආදායමෙන් යම් ප්‍රතිශතයක් මහපොළ අරමුදලට දායක මුදල් ලෙස ලබාදීමට ද, දානපතියන්ගෙන් පරිත්‍යාග ලෙස යම් මුදලක් ඊට එක් කිරීමට යෝජනා කර ඇත.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    ඒ සමඟම ඉල්ලීමක් කරන්න වෙනවා මේ වර්ෂයේ සිට මොනම හේතුවක් නිසාවත් විශ්වවිද්‍යාලය තුළ නවක වදය කියන එක මින් ඉදිරියට සිද්ධ වෙන්න නොහැකියි. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, ප්‍රකාශනයක් ලෙස සඳහන් වෙනවා මේ රටේ සියලුම ශිෂ්‍යයින්ට බියෙන්, සැකෙන් තොරව නිදහසේ අධ්‍යාපනය විශ්වවිද්‍යාල තුළත්, උසස් අධ්‍යාපන ආයතන තුළත් ලබාගැනිම සඳහා නවක වදය මුළුමනින්ම තුරන් කරනවා. පසුගිය වසර වනවිට දෙදහසක් නවක වදයට බියෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත ඇරලා නින්දිතයන් බවට පත්වෙලා තියෙන අයට යම් කිසි අධ්‍යාපනයේ සාධාරණත්වයක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් දැන් අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දීලා තියෙනවා. ක්‍රමවේදයක් සකස් කරන්න. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉඩ ප්‍රස්ථාව පුළුල් කිරීම සඳහා ප්‍රතිඥා දීපු එකම ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා පමණයි. දින 60ක් වගේ කාලපරිජ්චේදයක් තුළදී මේ සියලු දෙනාට උසස් අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා ලබාදීම සඳහා ජාතික වැඩසටහනක් ඉදිරිපත් කරනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 11 ජනවාරි 2020 20:02

    Latest News