අසාධාරණව අත්අඩංගුවට ගෙන ඇත්නම් මානව හිමිකම් සහ නීතිය ක්‍රියාත්මකයි

ජන 05, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන ඇත්නම්, මානව හිමිකම් කඩවීම හෝ වෙනත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාව ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වත්තේගම පැවැති ජන හමුවකින් පසු මාධ්‍ය වෙත අද (05) අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදෙන ප්‍රතිත්‍රස්ත පනත රටට අවශ්‍ය එකක් නොවන බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය. මෙවැනි පනතකට අත එසවිම ඩයස්පෝරාවේ රූකඩ ලෙස කටයුතු කරන දේශපාලනඥයින්ට පමණක් කළ හැකි බව ඒ මහතා කීය.

    කිසි ලෙසකින් පරාජය කළ නොහැකි බවට ජාත්‍යන්තරය ප්‍රකාශ කර තිබිය දී තිස් වසරක සාපයෙන් රට මුදා ගනිමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉවහල් වූයේත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත බවත් එහි කිසිදු වරදක් තමන් නොදකින බවත් ඔහු පෙන්වා දුනී. ජීනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ මවාපෑම් කරන ඩයස්පෝරාව ඇතුළු බලවේගයන් අවශ්‍ය මංගල සමරවීර ඇතුළු කිහිප දෙනෙකුට ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට අවශ්‍ය බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය. අන්තාවාදී කණ්ඩායම් වල බලපෑමකින් තොරව රට ඉදිරියට ගෙන යෑම පිණිස පාර්ලිමේන්තු මැතිවරණයේදී හොඳ තීරණයක් ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම හේතූ නිසා බව ඔහු පැවසිය. අද එයට යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

    පසුගිය හයපාලන රජය මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අධිකරණයට ගෙනයෑමට වත්මන් රජය කිසි විටෙකත් කටයුතු නොකරන බවත් එදා අරලියගහ මන්දිරයට එක්ව පාඨලී, රාජිත, අනුර ඇතුළු පිරිස තීරණ ගත් ආකාරය පිළිබඳව රටට හෙළි කළේ ඔවුන් විසින්ම ඉහළ පුටුවලට පත් කරන ලද නිලධාරීන් විසින් බවත් රඹුක්වැල්ල මහතා කීය.

    Latest News