රතු ලෝගුවකින් සැරසුනු නත්තල් සීයා ඇත්තටම කවුද?

දෙසැ 23, 2021

    නත්තල සමය උදාවීමත් සමග ලොකු කුඩා කාටත් මතක් වෙන්නේ නත්තල් සීයා. ලොව බොහෝ රටවල් සිගිත්තන් හා කුඩා දරුවන් සැනසීමට නත්තල් සීයාගේ තෑගි උපයෝගී කර ගන්නවා.

    නත්තල උදාවන දවසේ මධ්‍යම රාත්‍රියේ සිඟිත්තන්ගේ හා කුඩා දරුවන්ගේ යහන මත තෑගි තබා ඔවුන් සැනසීමට දෙමාපියන් විවිධ උපක්‍රම භාවිත කරනවා. කුඩා දරුවන්ගේ ලෝකයේ වීරයා වන්නේ ද නත්තල් සීයායි.

    ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ තුර්කියේ ඉපදුණු නිකලස්ට ඔහුගේ මාපියන් කුඩා කාලයේදීම අහිමි වුණා. මේ නිසා ඔහු මහා ධනස්කන්දයක හිමිකරුවෙකු බවට පත්වුණා. ඔහු කුඩා කාලයේ සිටම සමාජ සේවයට කැපවූ අතර දුප්පතුන්,දරුවන් හා රෝගීන්ට පැකිලීමකින් තොරව වියපැහැදම් කළා.

    පසුව, නිකලස් රඳගුරුවරයෙකු බවට පත්වූ අතර ක්‍රිස්තු වර්ෂ 343 දෙසැම්බර් 6 වැනිදා ස්වර්ගස්ත වුණා. අනතුරුව උන්වහන්සේ සාන්තුවරයෙකු බවට පත්වුණා. නත්තල් සීයාගේ සංකල්පයේ මූලාරම්භය, ශාන්ත නිකලස් චරිතාප්‍රදානය හා බැඳී පවතියි.

    එහෙත් නත්තල් සීයා චරිතය ලොවට හඳුන්වා දෙන්නේ ශාන්ත නිකලස් ශාන්තුවරයන් ස්වර්ගස්ත වී වසර 1,300කට පසුවයි. ඒ බ්‍රිතාන්‍ය හා යුරෝපය කේන්ද්‍ර කොට ගෙන. බ්‍රිතාන්‍යයේ තෑගි බෙදූ ෆාදර් ක්‍රිස්මස් යනුවෙන් හැඳින්වුනු පුද්ගලයෙකු 16 වැනි සියවසෙහි ජීවත්ව සිටියා.

    නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ මෙන්ම උතුරු පුරෝපයේ ද සින්ටර් ක්ලාස් නමැති ත්‍යාගශීලී පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු හමුවෙනවා. රුසියාවේ හිම සීයා ද නත්තල් සීයාට සමානකමක් දක්වනවා.

    වත්මන් නත්තල් සීයා සංකල්පය හෙවත් සැන්ටාක්ලෝස් බිහි වන්නේ, 1773 දී අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයෙන්.
    ඒ මුහුණපුරා සුදු රැවුලක් සහිත රතු ලෝගුවකින් සැරසී පිණිමුවන් සමග ලොවපුරා යමින් සිඟිත්තන් හා දරුවන් සනසන නත්තල් සීයා ලෙසින්.

    උත්තරධ්‍රැවය මූලික කොට ගෙන හිම සහිත පරිසයක් දෘශ්‍යකරණයෙන් නත්තල් සීයා සංකල්පය, විශ්වයීය සංකල්පයක් බවට ව්‍යාප්තව තිබේ.
    1985දී නත්තල් සීයාගේ නිල වාසස්ථානය ලෙස අතුරු ෆින්ලන්තයේ ලැප්ලන්තය නම් ප්‍රදේශයේ රෝවිනියේමි කුඩා නගරය නම් කෙරිණ. ඉන් අනතුරුව, රටවල් 198කින් නත්තල් සීයා වෙත ලිපි මිලියන 15ක් පමණ ලැබේ.

    අද වන විට නත්තල් සීයා සංකල්පය යම් තරමකට වාණිජකරණය වී ඇති අතර කඩසාප්පු, පිණිමුවන් යොදා ගත් කරත්ත සවාරි, තෑගි බෝග ලබාදීම වැනි අංශ කෙරෙහි ද ව්‍යාප්තව තිබේ. එම නගරයේ වඩාත් ආකර්ශනීය අංගය වන්නේ දෙසැම්බර් 23 වැනිදා සවස නත්තල් සීයා තෑගි බෙදාදීම සඳහා එළිපහලියට පැමිණීමය.
    මෙය දැක බලා ගැනීමට දහස් සංඛ්‍යාත පිරිසක් එක් වෙයි.

    නත්තල් සීයා සංකල්පය ආදරය හා කරුණාව මෙන්ම දයාව සිගිත්තන්ගේ හා දරුවන්ගේ හදවත් තුළ ජනිත කර වීමේ අරමුණින් ලොවට හඳුන්වාදුන් සංකල්පයීය දායාදයක්.

    Latest News