පිලිකාවලට බෙහෙත් බිත්තර තුළ NORRIE RUSSELL, THE ROSLIN INSTITUTE

පිලිකාවලට බෙහෙත් බිත්තර තුළ

ජන 28, 2019

    ජාන වෙනස් කළ කිකිළියන් මගින් පිළිකා සුවකිරීමේ හැකියාව ඇති බිත්තරක් නිර්මාණය කිරීමට පර්යේෂණකයන් පිරිසක් සමත්ව තිබේ.

    ආතරයිටීස් සහ ඇතැම් පිළිකා සඳහා ඖෂධ, බිත්තර මගින් නිෂ්පාදනය කිරීමට හැකි බව මෙම සොයා ගැනීම සිදුකළ බ්‍රිතාන්‍ය රොස්ලින් ආයතනයේ පර්යේෂකයෝ පවසති.

    ආතරයිටීස් සහ පිළිකා ඇතුළු රෝග බොහොමයකට හේතුව ඇතැම් රසායනික ද්‍රව්‍ය හා ප්‍රෝටීන ශරීරය තුළ ස්වභාවිකව නිෂ්පාදනය අකර්මන්‍ය වීමයි. මෙවැනි රෝග පාලනය කිරීමට ප්‍රෝටීන වර්ග අඩංගු ඖෂධ කෘතිමව ලබාදීම සිදු කරනු ලබයි. ඖෂධ සමාගම්වලට එම ඖෂධ කෘතිමව නිෂ්පදානය කිරීමට  ඉතා ඉහළ වියදමක් දැරීමට සිදු වේ. නමුත් කිකිලියන් මගින් මේ ඖෂධ නිෂ්පාදනට විශාල සහ සංකීර්ණ කර්මාන්ත ශාලා අවශ්‍ය නොවේ. එබැවින් මෙවැනි ඖෂධ, කර්මාන්ත ශාලාවක නිපදවීමේදී වැයවන මුදලට සාපේක්ෂව 100 ගුණයකින් පමණ ලාභදායී ලෙස බිත්තර මගින් නිෂ්පාදන කළ හැකි බව ඔවුහු පෙන්වා දෙති.

    මෙම ඖෂධ නිෂ්පාදන කිරීමට යොදාගන්නා කිකිලියන්, හොඳින් රැකබලා ගන්නා අතර ගොවිපළවල ඇතිකරන කිකිලියන් තරම් දුක්ඛිත ජීවිතයක් අත් විඳීමට සිදුනොවන බව රොස්ලින් තාක්ෂණ ආයතනයේ ආචාර්ය ලීසා හෙරොන් පවසයි. මොවුන් විශාල ප්‍රමාණයේ රැඳවුම් තුළ රැක බලා ගන්නේ ඉතා ඉහළ පුහුණුවක් ඇති තාක්ෂණික නිලධාරීන් විසිනි. කිකිලියන්ගේ සෞඛ්‍යට මෙයින් කිසිදු හානියක් සිදු නොවන අතර උන් සාමාන්‍ය ආකාරයේ බිත්තර දැමීමේ ක්‍රියාවලියක නිරත වන බව පර්යේෂකයෝ පවසති.

    ජාන වෙනස් කළ එළුවන්, හාවන් හා කිකිළියන් යොදා ගෙන උන්ගේ කිරි හා බිත්තර මගින් මෙවැනි ඖෂධ ලබා ගත හැකි බව මීට ඉහත දී විද්‍යාඥයින් සොයා ගෙන තිබේ. නමුත් මෙම නව එළඹුම වඩා ඵලදායී හා ඉතා ලාභදායි බව පර්යේෂකයෝ පවසති.

    මිනිස් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සම්බන්ධ ප්‍රති-වෛරස ගුණ හා ප්‍රති-පිලිකා ගුණ සහිත IFNalpha2a සහ හානි වූ පටක වර්ධන ගුණ සහිත macrophage-CSF නම් ප්‍රෝටීන වර්ග දෙක මේ ක්‍රමය මගින් නිෂ්පාදනය කෙරේ. මිනිස් ශරීරය තුළ ප්‍රෝටීන නිපදවෙන මෙවැනි ජාන කිකිලියන්ගේ බිත්තර දැමීමේ ක්‍රියාවලියට සම්බන්ධ ජාන තුළට එක් කිරීමෙන් මෙම ඖෂධ නිපදවීමට ආචාර්ය හෙරොන් සහ කණ්ඩායමට හැකිව තිබේ.


    බිත්තර 3කින් අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ලබා ගත හැකි අතර කිකිලියක් වසරකට බිත්තර 300ක් පමණ දමන බැවින් මෙය වාණිජ මට්ටමින් සිදු කිරීමේ හැකියාවක් ඇති බව පර්යේෂ කණ්ඩායමේ විශ්වාසයයි. 

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 12:20

    Latest News