අධි අවදානම් පිම්මෙන් පොළොවට පැමිණී තිදෙනෙක් (වීඩියෝ)

ජන 28, 2019

    උස් ගොඩනැගිල්ලක සිට අධි අවදානම් පිම්මකින් පොළොව කරා පැරිෂුට්ටයක් ආධාරයෙන් පැමිණීමට යුද හමුදාවේ නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු මේ දිනවල සූදානම් වේ.

    අමතර පැරිෂුටයක් නොමැතිවීම පොළවට ඇති දුර අඩු බව, තත්පර කිහිපයක් තුළ පොළොවට පතිතවීම, මෙම පිම්මේ ඇති අධි අවදානමයි. ඔවුන්ගේ අවදානම් පිම්ම, ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ, එළැඹෙන ජාතික දිනයේ දීය.

    එහි පුහුණුවීම් කොළඹ ගාලු මුවදොර පිහිටි ෂැංග්‍රිලා හෝටලයේ සිට මේ දිනවල සිදු කෙරේ. මෙම පිම්ම හැඳින්වෙන්නේ බේස් ජම්ප් ලෙසයි. B.A.S.E. යන වදනේ මුලකුරුවලින් හැඳින්වෙන ගොඩනැගිලි, සන්නිවේදන කුළුණු, උස් පාලම් සහ පොළොවේ උස් ස්ථානවලින් පැනීම ඉන් අර්ථවත්වේ. මෙම වික්‍රමය සිදු කිරීමට සූදානම් වන්නේ, යුද හමුදා කමාන්ඩෝ බලකායේ මේජර් නලින් කුලතුංග සහ කමාන්ඩෝ හා විශේෂ බලකා නියෝජනය කරන මාණ්ඩලික සැරයන්වරයෙකු හා බලලත් නිලධාරිවරයෙකු එක්ව සිටි. මේ සඳහා ඔවුන් පුහුණුව ලබා ඇත්තේ ක්‍රොඒෂියා, ඉතාලිය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවලයි. මෙවැනි පිම්මක් සඳහා පුහුණුව ලැබීමට සුදුසුකම් ලබන්නේ, පැරෂුට් පිමි 200ක් ඉක්මවූ අයට පමණක් වීම ද විශේෂත්වයකි. මෙවැනි ඉදිරිපත් කිරීමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සුදුසුකම් ලබා ඇත්තේ මේ තිදෙනා පමණකි. පැරිෂුටය ආධාරයෙන් පනින පුද්ගලයාගේ උස මහත සහ බර අනුව පැරිෂුටයේ වර්ග ඵලය වෙනස් වන අතර, එය එතීම සිදු කරන්නේ වේගයෙන් දිග ඇරීම සඳහායි.

    දැනට මේ සඳහා තෝරා ගෙන ඇති ගොඩනැගිල්ල පොළොවට පතිත වීම සඳහා කදිම ස්ථානයක් බව, මෙම නිලධාරීන් පවසති. වික්ටෝරියා වේල්ල, රිවර්ස්ටන්, පුංචි ලෝකාන්තය හා නෙළුම් කුළුණ මත සිට ඉදිරියේ දී මෙවැනි පැනීම් සිදු කිරීමට අවධානය යොමු කර තිබේ.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:43

    Latest News