වසර පනස් දහසක් පැරණි වවුල්පන හුණුගල් ගුහාව (වීඩියෝ)

පෙබ 17, 2020
  • සොබා දහමේ අසමසම නිර්මාණ රැසකට උරුමකම් කියන සුවිශේෂි දිවයිනක් ලෙසයි ශ්‍රී ලංකාව සැලකෙන්නේ.

    සංචාරකයන් විශ්මයට පත් කරවන සුන්දර ස්ථානයක් වන ඇඹිලිපිටිය රක්වාන වවුලපන හුණුගල් ගුහාවයි මේ....

    වවුල්පන ගල් ගුහාව පිහිටා තියෙන්නේ, ඇඹිලිපිටිය, රක්වාන කඳුවැටියේ බුලුතොට නිම්නය ආසන්නයේ. අභ්‍යන්තර දිය ඇල්ලක් සහිත මෙරට විශාලතම හුණුගල් ගුහාව ලෙසයි මෙය සැලකෙන්නේ. රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ මිරිස්වැල්පත හන්දියෙන් හැරී කිලෝ මීටර 10ක් පමණ ගිය විට මේ පරිශ්‍රය කරා ළඟා විය හැකියි. මුහුදු මට්ටමින් අඩි 912ක පමණ උසින් පිහිටි මේ හුණුගල් ගුහා භූමිය රජයේ වන රක්‍ෂිතයක්. මෙහි සමස්ත භූමි ප්‍රමාණය දැනට අක්කර 125ක් දක්වා පුළුල් කර තිබෙනවා. අඩි 455කට ආසන්න දිගකින් යුතු ගුහාව ප්‍රවේශ දොරටු දෙකකින් සමන්විතයි.

    Cave px 900 17 02 20

    ආතර් සී ක්ලාක් වියතාණන් පවා පවසා ඇත්තේ, මේ ගල්ගුහාව වසර පනස් දහසක් පමණ පැරණි බවයි. මේ රක්‍ෂිත පෙදෙසේ වවුලන් ලක්‍ෂ ගණනක් වෙසෙන බවට සැලකෙනවා. වලවේ ගඟේ ශාඛාවක් වන ආදොලු ගඟට එක්වන හල්විනිදොළ වවුල්පන ප්‍රධාන ගල්ගුහාව තුලිනුයි ගලා බසින්නේ. ගුහාව ඇතුලේ ඇති හිරිටැඹ සහ හිරිලඹ සොබාදහමේ විස්විත නිමැවුම්. සිසිල රැදෙන මේ ගල්ගුහාව ස්වාභාවික මැදුරක අසිරිය සිහිගන්වනවා. ජෛව විවිධත්වය, ස්වාභාවික භූ නිර්මාණය මෙන්ම ඉපැරණි යුගයට අයත් පාෂාණ වර්ග මෙම වන රක්‍ෂිතයේ වටිනාකම තීව්‍ර කරන සාධක. ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන්නේත් මෙවැනි ආකර්ශනීය පරිසර පද්ධති හේතුවෙන්.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 20:11

    Latest News