කොරෝනා වැළැක්වීමේ විද්‍යුත් මාධ්‍ය කාර්යභාරය..ජාතික රූපවාහිනියටත් සුවිශේෂ වගකීමක්

මාර් 28, 2020

    කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය අංශ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අත්‍යවශ්‍ය අනෙකුත් සේවාවන්වල නිරත පිරිස් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

    දිවයිනේ විද්‍යුත් මාධ්‍ය ද ජනතාව දැනුවත් කරමින් සිදු කරන්නේ, ඊට නොදෙවැනි මෙහෙවරක්. පුවත්පත් ආදිය ද මුද්‍රණය නොවන අවස්ථාවක, විද්‍යුත් මාධ්‍යට මේ අවස්ථාවේ විශේෂ වගකීමක් පැවරී තිබේ.

    අද දිනමිණ අන්තර් ජාල පුවත් පතේ කොරෝනා සහ විද්‍යුත් මාධ්‍ය යන මැයෙන් විශේෂ ලිපියක් පළ කර තිබේ. එහිදී සාකච්ජාවට බඳුන්කර ඇත්තේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට විද්‍යුත් මාධ්‍යයේ කාර්ය භාරය පිළිබඳවයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මෙහිදී සඳහන් කර තිබුණේ, මේ අවස්ථාවේ ජාතික රූපවාහිනියට සුවිශේෂී වගකීමක් පැවරී ඇති බවයි. විවිධ ක්ෂේත්‍රගත විශේෂඥයන් සම්බන්ධ කර ගනිමින්, කොවිඩ් නයින්ටීන් රෝගය පිළිබඳව ජාතික රූපවාහිනිය ඔස්සේ දිනපතා ජනතාව දැනුවත් කිරීම සිදු වන බව, නිහාල් ජයතිලක මහතා එම සාකච්ජාවේ දී දැනුම් දුන්නේය. පවත්නා ආපදා තත්වයෙන් මිදීමට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය ගන්නා විශේෂ පියවර පිළිබඳව ද දැනුවත් කිරීම ද ජාතික රූපවාහිනිය මගින් සිදු කෙරේ.

    ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, මේ මොහොතේ රට පත්ව ඇති තත්වයෙන් මුදා ගැනීම සඳහා රණවිරුවන් ඉහළම දායකත්වයක් ලබා දෙමින් සිටින බවයි. මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරමින්, ජනතාව දැනුවත් කිරීමට සූදානම් බව ද ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා සඳහන් කළේය. සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා ද අදහස් පළ කර තිබේ. ඔහු පවසන්නේ, කොරෝනා මර්දනය වෙනුවෙන් රජය, ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. විවිධ අර්බුදවලට මුහුණ දුන්න ද මේ අවස්ථාවේ මුළු මහත් ලෝකයටම මුහුණදීමට සිදුව ඇති අර්බුදය, අනෙක් අර්බුදවලට වඩා වෙනස් බව, දෙරණ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී නීතීඥ සංඛ අමරජිත් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය පහසුකම්, ආරක්ෂාව හා සමානවම දැනුවත් කිරීම් ද මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දී තිබේ.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 11:07

    Latest News