2016 ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන්ට මරණ දඬුවම

නොවැ 28, 2019

    බංග්ලාදේශ ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු බව පැවසෙන පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. ප්‍රහාරයෙන් මරණයට පත් බහුතරය විදේශිකයන්.

    2016 වර්ෂයේ දී බංගලාදේශ අගනුවර ඇති ආපන ශාලාවකට එල්ල කරන ලද ප්‍රහාරයකට වගකිව යුතු ඉස්ලාමීය පුද්ගලයින් හත් දෙනෙකුට එරට අධිකරණයෙන් මරණ දණ්ඩනය නියමකෙරුණි.

    එම ප්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගිය අතර, ඉන් වැඩි පිරිසක් විදේශිකයන්. පුද්ගලයන් පස් දෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කළ අතර, ඔවුන් ධකා නුවර පිහිටි 'හොලේ ආර්ටිසන්' (Holey Artisan) ආපනශාලාවේ ආහාර ගනිමින් සිටි පිරිස ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගත්තේය.

    ප්‍රහාරය සැලසුම් කිරීම සහ අවි ආයුධ සැපයීමේ චෝදනාව මත පුද්ගයන් අට දෙනෙකුට එරෙහිව නඩු පැවරුණ අතර පසුව එක් පුද්ගලයෙකු එම චෝදනාවලින් නිදහස් විය. පැය දොළහක් පුරා පැවතුණ එම මෙහෙයුම බංගලාදේශයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැළකෙයි. එහිදී මියගිය පුද්ගලයන් බොහෝ දෙනා ඉතාලි සහ ජපාන ජාතිකයන්.

    IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම බාර ගත් නමුත්, බංගලාදේශ බලධාරීන් පවසන්නේ එරට ක්‍රියාත්මක වන සටන්කරුවන් කණ්ඩායමක් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවයි. එම ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සටන්කරුවන් දැඩි ලෙස මැඩපැවැත්වීමට බංගලාදේශ බලධාරීන් ක්‍රියා කළේය.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය අස්ථාවර කිරීමේ බලවේගයක් ලෙස එරට බලධාරීන් විසින් පෙන්වා දෙන ලද සටන්කරුවන් මත ඔවුන් දැඩි මර්දනකාරී වැඩපිළිවෙක් දියත් කළේ ඉන් අනතුරුවයි.

    Latest News