සෞදියේ ඔටුන්න හිමි කුමරු ජමාල් කෂෝගී ගේ ඝාතනයේ වගකීම භාර ගනී

සැප් 27, 2019

    ලොව කැළඹු මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර සිටී.

    2018 වර්ෂයේ ඔක්තෝම්බර් මස 02 වැනි දින තුර්කියේ ඉස්තානබුල් අගනුවර පිහිටි සෞදි අරාබියේ කොන්සියුලර් කාර්යාලය තුළදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන රුපවාහිනි වාර්තාමය වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව ප්‍රකාශ කර ඇත.

    සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන් ඇතුළු රජ පවුලේ ක්‍රියාකාරකම් විවේචනය කරනු ලැබූ මාධ්‍යවේදියෙක් වන ජමාල් කෂෝගී තමන්ට එල්ලවූ තර්ජන හේතුවෙන් අමෙරිකාවේ ජිවත් වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    ඔහු අමෙරිකාවේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ විශේෂාංග ලිපි ලියන්නෙක් ලෙසටද කටයුතු කරනු ලැබුවා. " එය සිදුවුයේ මගේ පාලනය යටතේ, එහි වගකීම මම භාර ගන්නවා. එය සිදුවුනේ මගේ පාලනය යටතේයි..." ජමාල් කෂෝගී ගේ ඝාතනයට වසරක් සපිරෙන ඔක්තෝම්බර් මස 01 වැනි දින විකාශනය වීමට නියමිත රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සෞදියේ ඔටුන්න හිමිකුමරු මේ බව සඳහන් කර ඇත.

    ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇතිවූ රාජතාන්ත්‍රික බලපෑම් මත එම අපරාධය සම්බන්ධයෙන් එරට නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට සෞදි රජය පියවර ගනු ලැබීය.

    මෙම අපරාධය සිදුවීමෙන් පසු සෞදියේ ඔටුන්න හිමිකුමරු කිසිදු අවස්ථාවක යුරෝපයේ හෝ අමෙරිකාවේ සංචාරයේ නිරත නොවීම ද විශේෂ සිදුවීමක් ලෙසයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    Latest News