රුසියානු ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බව, අමෙරිකානු ජනාධිපති පවසයි....

මාර් 17, 2022

    රුසියානු ජනාධිපතිවරයා යුද අපරාධකරුවෙකු බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මුල්වරට ප්‍රකාශ කර තිබෙනවා.

    ඒ සමගම යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් කෝටි 100 ක් වටිනා ප්‍රහාරක අවි සැපයීමට ජනාධිපති බයිඩන් පියවර ගත්තා. ඒ අතර, දකුණු යුක්‍රේනයේ දැඩි සටන් පවතින මරියුපෝල්හි සාමාන්‍ය වැසියන් රැකවරණ සපයාගත් රංග ශාලාවකට රුසියාව පහරදුන් බවට යුක්‍රේනය චෝදනා කරනවා. ප්‍රහාර එල්ලවන අවස්ථාවේ 1,000 ත් 1,200 ත් අතර පිරිසක් රංග ශාලාව තුළ රැඳී සිටි බවයි, යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ.

    ප්‍රහාරයෙන් කිසිවෙකු මියගොස් නැහැ. තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව, මරියුපෝල් උප නගරාධිපතිවරයා කියා සිටියා. යුක්‍රේනයේ, උතුරු දිග "චර්නිහිච්" නගරයේ 13 දෙනෙකු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවද, විදෙස් වාර්තාවල සඳහන්. ප්‍රහාරය එල්ලවී ඇත්තේ, ඔවුන් පාන් මිලදී ගැනීමට පෝලිම්වල රැඳී සිටි අවස්ථාවේ.

    ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙක් බවට, අමෙරිකානු ජනාධිපති කරඇති ප්‍රකාශය රුසියාව හෙළා දැක තිබෙනවා. ක්‍රෙම්ලිනය සඳහන් කරන්නේ, එම ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවයි. රුසියා - යුක්‍රේන යුද්ධයට මේ වන විට සති 03 ක් ගතවී තිබෙනවා. රුසියානු හමුදාව කියෙව් අගනුවර ආසන්නයට පැමිණ සිටින අතර, දෙපාර්ශවය අතර දැරුණු ගැටුම් පවතින බවයි වාර්තා වන්නේ. යුක්‍රේන ජනාධිපති ව්ලෙදිමිර් සෙලන්ස්කි ඊයේ අමෙරිකානු සෙනට් සභාව ඇමතුවා. එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා තම රටේ වත්මත් තත්වය 1941 දෙවැනි ලෝක යුද සමයේ අමෙරිකාවේ පර්ල් වරායට ජපාන ප්‍රහාර එල්ලවීමේ සිද්ධියට සහ 2001 වසරේ අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයට සමාන බව, ප්‍රකාශ කළා.

    Latest News