විශිෂ්ටත්වයේ ඔලිම්පික් උළෙලක් උදෙසා කැපවන්නැයි චීන ජනපති ඉල්ලා සිටී

ජන 06, 2022

    බෙයිජිං 2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලවල පූර්ව සූදානම පිළිබඳ විමසා බැලීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිංහි ජාතික ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාංගණයට හා Erqi (අර්චි) අයිස් හා හිම ව්‍යාපෘති පුහුණු කඳවුරට පැමිණෙයි.

    ඊයේ(4) එහි පැමිණි ජනාධිපතිවරයා ජාතික ස්පීඩ් ස්කේටිං ක්‍රීඩාංගණයේ මෙහෙයුම් සහ නඩත්තු කණ්ඩායම් සමඟ පිළිසඳරකට එක්වෙමින් එහි සියලුදෙනා දිරිමත් කළේය.

    " ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල කිසිදු බාධාවකින් තොරව, සාර්ථකව පැවැත්වීම අපගේ අපේක්ෂාවයි. එහිදී හරිත ක්‍රමවේද, සුරක්ෂිතතාව මෙන්ම සරල බව තහවුරු කළ හැකි නම් උළෙලේ විශිෂ්ටත්වය නිතැතින්ම සාක්ෂාත් වනු ඇතැයි" ෂී ජින් පිං මහතා කියාසිටියේය.

    Erqi අයිස් හා හිම ක්‍රීඩා පුහුණු කඳවුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ස්වේච්ඡා සේවකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ට අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. මනාව පුහුණුවීම්වල නිරතව ශීත සෘතු ඔලිම්පික් උළලේදී ඉහළ ප්‍රතිඵල ලබාගන්නා ලෙස ඔහු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කළේය.

    අවසන් අදියරේ පවතින ඉදිකිරීම් මෙන්ම සෙසු සංවිධාන කටයුතු දැඩි කැපවීමෙන් ඉටුකරන ලෙස ද චීන ජනාධිපතිවරයා සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ශීත ඍතු ඔලිම්පික් උළෙල ආරම්භ වන්නේ පෙබරවාරි 4 වැනිදායි.

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News