නව වාර්තා රැසක් තබමින් "ස්පේස් එක්ස්" පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව අද (19) අවසන්...

සැප් 19, 2021

    නව වාර්තා රැසක් තබමින් "ස්පේස් එක්ස්" පෞද්ගලික අභ්‍යවකාශ චාරිකාව අද (19) අවසන් වුණා.

    දින තුනක් අභ්‍යවකාශයේ රැඳී සිටි ආධුනික ගගනගාමින් සිව්දෙනා නිරුපද්‍රිතව පෘතුවියට ලඟ වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 04.30 ට පමණ. කිසිදු පුහුණුවක් හෝ වෘත්තීය ගගනගාමියෙකුගේ සහභාගීත්වයක් නොමැතිව "ස්පේස් එක්ස්" අභ්‍යවකාශ චාරිකාව පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වුණා. එහි ගමන් කළේ සංචාරකයින් ලෙස අභ්‍යවකාශයට යාමට පුහුණුව ලැබූ සිව් දෙනෙක්.

    ජැරැට් අයිසෙක්මන්, සියන් ෆොක්ටර්, හේලි ආර්සෙන්යු, ක්‍රිස් සෙන්රොස්කි යන අය මේ අභ්‍යවකාශ චාරිකාවට එක්වුණා. සංචාරකයින් දින 03 ක් අභයවකාශයේ රැඳී සිටි අතර, ඔවුන් රැගත් යානය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඔබ්බෙන් මුහුදු කලාපයට අද අලුයම පැමිණියා. ඒ දැවැන්ත පැරෂුට් ආධාරයෙන්. අභ්‍යවකාශ යානයේ ඩ්‍රැගන් කැප්සියුලය අභ්‍යන්තර පරිගණක පද්ධතියකින් පාලනය කෙරුණා. "ස්පේස් එක්ස්" කණ්ඩායම භූමියේ සිට එය අධීක්ෂණය කළ බවයි, වාර්තා වන්නේ.

    කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟාවීමට සැලසුම් කර තිබුණේ නැහැ. ඒ වෙනුවට කිලෝමීටර් 575 ක දුරක නිදහස් ගුවන් ගමනක් සිදු කිරීමට මෙහෙයුමේදී හැකිවුණා. එලෝන් මස්ක් ගේ "ස්පේස් එක්ස්" ආයතනය අභ්‍යවකාශය වෙත මිනිසුන් රැගෙන ගිය තෙවැනි අවස්ථාව ලෙසයි, මෙය සැලකෙන්නේ. සංචාරක අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ වැදගත් සන්දිස්ථානයක් ලෙස මෙය පෙන්වා දී තිබෙනවා.

    Latest News