ඇෆ්ගන් නව පාලනය සඳහා එක්වන්න; තලේබාන් සංවිධානය

අගෝ 17, 2021

    ඇෆ්ගනිස්තානයේ නව පාලනය සඳහා එක්වන්නැයි, තලේබාන් සංවිධානය එරට කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කරයි.

    සියල්ලන් සඳහා පොදු සමාවක් ප්‍රකාශ කළ බව ද, තලේබාන් නායකත්වය අද නිවේදනය කළේය. රටින් පලායාම සඳහා පැමිණ සිටි දහස් සංඛ්‍යාත ඇෆ්ගන් වැසියන් නිසා ඊයේ වසා තැබුණු කාබුල් ගුවන් තොටුපල අද විවෘත කෙරිණ.

    විදේශිකයන් ඉවත්කර ගැනීමේ ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ගුවන් තොටුපලට කඩා වැඳී සිටි ජනතාව ඉවත් කිරීමට එහි ආරක්‍ෂාව භාර අමෙරිකානු හමුදාව පියවර ගත්තේය. ගුවන් තොටුපල සිද්ධියේදී හත් දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

    මේ අතර, ජර්මන් ගුවන් යානයක් කලබලකාරී තත්වය නිසා මගීන් හත් දෙනෙකු පමණක් රැගෙන පිටත්ව ගිය බවට තොරතුරු ලැබී තිබේ. 

    දිගින් දිගටම එල්ලවන විවේචනවලට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයකදී කියා සිටියේ, ඇෆ්ගනිස්තානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කරගැනීම තමාගේ පූර්ණ අනුමැතිය යටතේ සිදු වූවක් බවයි.

    තවදුරටත් අමෙරිකානු ජිවිත බිලිදීමට අවශ්‍ය නැති බව, ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, පවත්නා තත්වය ගැන නිසි තක්සේරුවකින් පසු නොවූ බව ද ඔහු පිළිගත්තේය.

    තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කලබලකාරි තත්වය සමතයකට පත්කිරීම සඳහා උත්සහ දරමින් සිටී. ජනතාවගේ ගෙවල්වලට කඩා නොවදින ලෙසට අණදෙණ නිලධාරීන් තලේබාන් සෙබලුන්ට අණකර තිබේ.

    යළි සේවයට පැමිණෙන්නැයි සියලු රජයේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ඒ අනුව, කාබුල් අගනුවර නගරාධිපතිවරයා සහ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා අද යළි රාජකාරී ආරම්භ කළ බව, කාබුල් නුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

    තලේබාන් පාලනය පිළිගැනීමට රටවල් කිහිපයක් උත්සුක වන ලකුණු දක්නට ලැබේ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ චීනයයි.

    ඇෆ්ගනිස්තානයේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවී සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බව, චීනය සඳහන් කළේය. විධිමත් දේශපාලන විසඳුමක් ඇෆ්ගනිස්තානයට අවශ්‍ය බව, පකිස්තාන විදේශ ඇමතිවරයා සඳහන් කරයි.

    තුර්කිය ප්‍රකාශ කරන්නේ, ඇෆ්ගනිස්තානයේ සියලු පාර්ශව සමඟ සාකච්ජා පවත්වන බවයි. ඉරානය ප්‍රකාශ කර ඇත්තේ, කාබුල්හි තම තානාපති කාර්යාලය තවමත් විවෘතව ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 17 අගෝස්තු 2021 19:33

    Latest News