බේරූට්; තෙවැනි දිනටත් විරෝධතා

අගෝ 10, 2020

    ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීම හේතුවෙන් අද තෙවැනි දිනටත් විරෝධතා පැවැත්විණ.

    මෙය, රජයේ නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ වරදක් බව, විරෝධතාකරුවන් චෝදනා කරයි. පවතින අර්බුදය හමුවේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ඇමෝනියම් නයිට්රේට් ටොන් 2000කට අධික ප්‍රමාණයක් තිබූ ගබඩාවක පිපිරීම සිදුවූ අතර ඉන් සිදුව ඇති හානිය, අමෙරිකානු ඩොලර් බිලියන 15කට අධික බව තක්සේරු කර ඇත.

    පිපිරීමෙන් සිදුවූ හානිය පියවා ගැනීමේ අරමුණින් ආධාර ලබාදීම පිළිබඳ සාකච්ජාවක් ලෝක නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. ප්‍රංශය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමුළුව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු කර තිබූ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊට සහභාගිවීම විශේෂත්වයක්.

    එහිදී එකඟවී ඇත්තේ ඩොලර් මිලියන 300කට ආසන්න මානුෂීය ආධාර සෘජුවම ලෙබනන් ජනතාවට ලබාදීමයි. කෙසේ වුවත් අගනුවර කේන්ද්‍ර කරගනිමින් දහස් ගණනක් ජනතාව විරෝධතාවල නිරතවූහ.

    විරෝධතා මැඩපැවැත්වීම සඳහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාර සිදු කරමින් රජයේ අමාත්‍යාංශවලට ද හානි කර තිබේ.

    ලෙබනන් අග්‍රාමාත්‍ය හසන් ඩයබ් ජාතිය අමතමින් සඳහන් කළේ මෙම අර්බුදවලින් මිදීම සඳහා නියමිත කාලයට පෙර මැතිවරණයක් අවශ්‍ය වන බවයි. ඒ සම්බන්ධයෙන් අද ලෙබනන් කැබිනට් මණ්ඩලය සාකච්ජා කිරීමට නියමිත බව වාර්තාවේ.

    Latest News