සප්ත කන්‍යා අනතුර සිදුවී අදට වසර 45යි

දෙසැ 04, 2019

    ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර ලෙස සැලකෙන සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී DC 08 ගුවන් යනය අනතුරට පත්වීමට අද(04)ට වසර 45ක් සපිරේ.

    එම ගුවන් අනතුරෙන් මිය ගිය අය සිහි කරමින් නෝටන්බ්‍රිජ් ස්මාරකය ඉදිරිපිට ඉටිපන්දම් දල්වා පින් අනුමෝදම් කිරීමේ පිංකමක් අද සිදුකර තිබේ. නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය අසල ඉදි කර තිබෙන ස්මාරකය ඉදිරිපිට මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.

    වර්ෂ 1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් DC 08 ගුවන් යානය ඉන්දුනිසියා සුරවෙයාර් ගුවන්තොටුපලින් වන්දනාකරුවන් 182 ක් සහ කාර්යය මණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන පියාසර කර ඇත. එම ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටියේ ගැටි එම ගුවන් යානයේ ගමන් ගත් සියළුම දෙනාම ජිවිතක්ෂයට පත්වුහ.

    ගුවන් අනතුරෙන් මිය ගිය 190 දෙනෙකුගේ සිරුරු සප්ත කන්‍යා කන්ද පාමුල මිහිදන් කර ඇත. අනතුරට පත් ගුවන් යානයේ රෝදයක් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශ වේල්ල අසල සිහිවටනයක් සේ තබා ඇති අතර එම ස්ථානයේ ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් යානයේ කාර්යය මණ්ඩලයේ නම් සදහන් කරමින් සිහි වටනයක්ද ඉදි කර තිබේ.

    එම සිහිවටනය ඉදිරිපිට නොටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් ගුවන් අනතුර සිය ඇසින් දුටු නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචි බර්ට් ලසන්ත රණසිංහ (82) මහතා සහ ප්‍රදේශවාසින් එක් ව අනතුරෙන් මිය ගිය අය සිහි කරමින් ස්මාරකය ඉදිරිපිට ඉටි පහන් දල්වා පින් අනුමෝදම් කිරිම අද සිදු කලහ.

    Latest News