එක්නැලිගෝඩ පැහැරගත් චූදිතයින් 09කට අධි චෝදනා

නොවැ 27, 2019

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

    නඩුව අද සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණ.

    විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ට විදේශ ගමන් බලපත්‍ර සතියක් තුළ අධිකරණය වෙත බාර දෙන ලෙසද නියම කළේය.

    විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ගෙන වාර්තාවක් කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කෙරිණ. අනතුරුව නඩුව දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට ද නියම විය.

    නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකු නම් කර තිබේ.

    2010 වසරේ ජනවාරි 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

    Latest News