පිටත වටරවුම් මාර්ගයේ තුන්වැනි අදියර ජනතා අයිතියට

නොවැ 07, 2019

    පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර අද සවස ජනතා අයිතියට පත් කෙරිණ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට වැය කෙරුණු මුදල රුපියල් බිලියන 67ක්. පිටත වටරවුම මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2016 වසරේ ජනවාරි පළමු වැනිදායා. වසර දෙක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත කිලෝ මීටර 9.6කින් යුතු මෙම මාර්ග කොටස ඉදිකිරීම විශේෂත්වයක්. පිටත වටරවුම මාර්ගයේ වැදගත්ම සහ සුවිශේෂි මාර්ග කොටස වන්නේ ද තුන්වන අදියරේ මෙම මාර්ග කොටසයි.

    මේ යටතේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණෙන රථවාහනවලට කොළඹ නගරයට ඇතුල්වීමෙන් තොරව කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගමන් කිරීමට හැකියාව හිමිවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුභ මොහොතින් කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් මෙම මාර්ග කොටස විවෘත කරනු ලැබීය. එහි පළමු ටිකට්පත් ලබාගත් අග්‍රාමාත්‍යවරයා, අධිවේගී මාර්ගය ඔස්සේ අන්තර් හුවමාරුව දක්වා පැමිණියේය. අනතුරුව එම ස්ථානයේ සංවිධාන කළ උත්සවයකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.

    හෙට මධ්‍යම රාත්‍රියේ සිට පිටත වටරවුම මාර්ගයේ කෙරවලපිටිය සිට කඩවත දක්වා මාර්ග කොටස ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ. ඉන් අනතුරුව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ප්‍රදේශයේ සිට ගමන් අරඹන පුද්ගලයෙකුට, හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු කටුනායක දක්වා ගමන් කිරීමේ පහසුව ලැබෙනු ඇත.

    මේ අතර, දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර වූ බරවකුඹුර-මත්තල-හම්බන්තොට දිගුව ද අද විවෘත කෙරිණ. ඒ මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එකට යා කිරීම අධිවේගී මාර්ග තුන්වැනි දිගුවේ අරමුණයි. මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුර සිට අන්දරවැව හරහා මත්තලට වු කිලෝ මිටර 21.8කින් යුත් මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත වන බවයි.

    එමෙන්ම දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට දක්වා වූ කිලෝ මීටර 16.6කින් යුත් මාර්ග කොටස ද හෙට සිට ජනතාවට විවෘත වනු ඇත. “ පිටත වටරවුම මාර්ගය“ වු “කඩවත සිට කෙරවලපිටිය“ දක්වා වු ‍කිලෝමීටර 9.6කින් යුත් මාර්ග කොටස ද ජනතාව වෙනුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12.00න් පසු විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙම සම්බන්ධවීමත් සමඟ දැනට අයකරන ගාස්තු ක්‍රමය සංශෝධනයට ලක්වන බව, අධිවේගී මාර්ග භාවිත කරන්නන් හට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. විද්‍යුත් ගාස්තු ගෙවීමේ ක්‍රමය නැවත දැනුම් දෙන තුරු කෙලවරපිටිය අන්තර් හුවමාරුවේ ක්‍රියාත්මක නොවන බව මාර්ග සංවිධාන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 20:56

    Latest News