ශ්‍රීලනිපය රැක ගැනීමේ සටන චන්ද්‍රිකා සහ වෙල්ගමගෙන්...පොහොට්ටුවේ ඉරණම විසඳීමට තීන්දුවක්

නොවැ 05, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සමුළුවක් කොළඹදී අද පැවැත්විණ.

    ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සමුළුව සංවිධානකර තිබුණේ “අපි ශ්‍රී ලංකා“ තේමාවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, පාක්‍ෂිකයන් ඇතුළු විශාල පිරිසක් මීට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා...

    භය නැතුව එන්න මේක තමයි අන්තිම අවස්ථාව එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්ක හිටගත්තා වගේ තමයි කුමාර වෙල්ගම අද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියත් එක්ක හිටගන්නේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. මං තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ අපේ පක්‍ෂය ආරක්ෂා කරන්නනම් අපි හොඳ බුද්ධිමත් තීන්දුවක් ගත යුතුයි. අපිට මේ පක්ෂය අහිමි වෙනවා වැරදි තීන්දුවක් ගත්තොත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්න නම් හොඳ තීන්දුවක් ගන්න. තමුන්නාන්සේලා කවුරුත් දන්නවා කරන්න ඕනේ දේ. පොහොට්ටුව ද ලොකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ලොකු කියන එක. ඔය කියන පක්ෂය ආවෝත් අපට පක්ෂයක් ඉතිරි වෙන්නේ නැහැ. ඔය පක්ෂ දෙකේම නායකයෝ හැටියට එන්නේ රාජපක්‍ෂලා කියන එක මම කියනවා. අතුරු ව්‍යවස්ථාවක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පස්සේ ආව යම්කිසි කෙනෙක් ඒකාබද්ධව ඉල්ලලා ජනාධිපති ධූරයට පත් වුණොත් එයා වෙනත් පක්ෂයක සාමාජිකයෙක් නෙමෙයි නම් එයාට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිධූරය ගන්න පුලුවන්. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෝඩ් ලෑල්ල පමණක් තියෙයි අනිවාර්යයෙන්. මේක තමයි වෙන්නේ අපි වැරදි තීන්දුවක් ගත්තොත්. සැබෑ ශ්‍රී ලංකා කාරයෝ හැටියට අපි හරි තීන්දු ගන්න ඕනේ. මගේ පුද්ගලික ඡන්දය මම පොහොට්ටුවට දෙන්නේ නැහැ. මට ජම්පර් අන්දන්න තමුන්නාන්සේලා ලැහැස්ති වෙන්න එපා. මාව සුදු වෑන් එකේ යවන්න ලැහැස්ති වෙන්න එපා. ඒක හින්දා නිවැරදි තීන්දුවක් ගන්න“ යැයි කුමාර වෙල්ගම මහතා පැවසීය.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය...

    මේක කරන්න ආයිමත් බැහැ කියලා මම පිටරටට වෙලා හිටියා. මං ආවේ මිට දින 6කට ඉස්සෙල්ලා. එන්න කිය කියා පණිවුඩ එවනවා. පක්ෂයට අපේ පවුලේ ඔක්කොම ජිවිතත් නැති කරගෙන කෙරුවා. ඕනේ කෙනෙක් කරගත්තාවේ කියලා මට ඉන්න තිබුණා. පක්ෂය තමුන්නාන්සේලා අතරමං කරන්න බැහැ. ඒ නිසා මම ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකංම ගොඩ අරගෙන අපි අපිට කැමති අපේක්ෂකයෙක් දිනවගෙන ආයෙමත් අතෙන්ටනම් යන්න බැහැ. අපිට බලය මෙහෙයවන්න පුලුවන් කමක් තියෙනවනම්, අඩු ගානේ සහභාගි වෙන්න පුලුවන් කමක් තියෙනවනම් අපේ පක්ෂයේ අය හොරකම් කරන්න පටන් ගත්තොත් නම් මම පාරට බහිනවා තමුන්නාන්සේලා එක්ක. මේ ඉන්න නායකයෝ ඔක්කොම පන්නලා අපේ රටේ උගත් තරුණ පිරිසක් ඉන්නවා මේ එකෙක් අපිට අලුත් නායකත්වයක් ඕනේ. නායකයෝ බිහිකරන්නම් කියලා, එවැනි අය සමඟ අපි පාරට බැහැලා ඉන්න අය පන්නලා ආණ්ඩුව බාරගන්න හැරමිටියෙන් හරි ඇවිල්ලා සහයෝගය දෙනවා කියලා කියන්න ඕනේ“ යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 20:55

    Latest News