උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් ජනපති අතින් අද ජනතා අයිතියට...

ඔක් 30, 2019

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීම අද (30) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරේ. 

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු අලිකොටආර ජලාශය, ඩයරබා ජලාශය, පුහුල්පොළ ජලාශය සහ හඳපානගල ජලාශය ද හෙට ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

    අලිකොටආර ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 5,200ක් වනඅතර, කරඳගොල්ල භූගත ජල විදුලිබලාගාරය මගින් මෙගාවොට් 120ක විදුලිය නිපදවීමට නියමිත අතර එය 2020 වසරේ දී සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය. එම ඉදිකිරීම් ද හෙට ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වෙයි. උමාඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතාවලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණවේ.

    එමගින් මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය සහ තණමල්විල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4,500ක් හා දැනට වගාකෙරෙන ඉඩම් හෙක්ටයාර් 1,500කට වාරිජලය සැපයීමත්, ව්‍යාපෘතිය මගින් ඉදිකෙරෙන මෙගාවොට් 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලිබලාගාරය මගින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

    ඊට අමතරව ව්‍යාපෘති ප‍්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර, ඩයරබා හා පුහුල්පොළ ඉදිකෙරෙන ජලාශ මගින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල සහ ඇටැම්පිටිය ප‍්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීම ද ඊට ඇතුළත් වේ.

    ව්‍යාපෘතිය, මුලස්ථායි වැඩ සහ කිරිඳිඔය ද්‍රෝණිය ආශි‍්‍රත පහළ නිම්න සංවර්ධනය වශයෙන් ප‍්‍රධාන අංග දෙකකින් සමන්විත වන අතර එහි සමස්ථ පිරිවැය ඇ. ඩොමිලියන 514.5ක් වන අතර එය ශ‍්‍රී ලංකා රුපියල් මිලියන 15,474.25කි. 

    Latest News