හෙටත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඔක් 24, 2019

    බස්නාහිර, වයඹ, උතුර, දකුණ, මධ්‍යම, සබරගමුව යන පළාත්වල හෙට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකියි. තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. බස්නාහිර, වයඹ, උතුර, දකුණ, සබරගමුව යන පළාත්වල අද රාත්‍රී කාලයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. ඇතැම් ස්ථාවනවලට මිලිමීටර 100කට අධික තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරේ. මධ්‍යම, සබරගමුව ඌව යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ද පැවතිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවල තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල පැයට කිලෝ මීටර 70ත්, 80ත් පමණ දක්වා තද සුළං ඇතිවීමෙන් අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අම්බලන්ගොඩ ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවකට සහ කුඩා ධීවර යාත්‍රා දෙකකට දැඩි සුළං බලපෑමෙන් හානි සිදුව තිබේ. නැංගුරම් කැඩී ගොස් යාත්‍රා වරායේ ගල් බැම්මක ගැටී ඇත. බහුදින ධීවර යාත්‍රාව සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර, හානි සිදුවූ එක් කුඩා යාත්‍රාවක් ගිලී තිබියදී හමුවිය. බහුදින ධීවර යාත්‍රාවේ වටිනාකම රුපියල් ලක්‍ෂ 20ක් පමණ වන බව ධීවරයින් පවසයි. දැඩි සුළං හේතුවෙන් මුහුදු රළ ගාල්ල-කොළඹ මාර්ගයේ කහව සහ පොල්වත්ත ප්‍රදේශයෙන් මාර්ගයට ද පැමිණ තිබේ. එම නිසා ගාලු පාරේ එක් මංතීරුවක් වැලි සහ අපද්‍රව්‍යවලින් අවහිර වූ අතර එමගින් වාහන ධාවනයට ද බාධා එල්ල විය. ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ධාරාණිපාත වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට සුළු ජල ගැලීම් තත්වයක් හටගෙන තිබේ. දංගෙදර, නුගදූව, බෙලිගහ, කහදූවවත්ත ආදී ප්‍රදේශවල පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී ඇත. ගාල්ල වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.

    Latest News