පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගේ ප්‍රකාශයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රතිචාරයක්

අගෝ 30, 2019

    පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අමෙරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු තවත් විදේශිකයින් මෙරටට පැමිණියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලට අවශ්‍ය සහය ලබාදීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙම පරීක්‍ෂණ කණ්ඩායම පැමිණීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එම නිවේදනය නිකුත් කර ඇත. එක්සත් ජනපද විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ප්‍රහාරයට අදාළ සාක්ෂි ඔවුන් බාරයට ගෙන ඇති බවත්, දේශීය විමර්ශකයින්ට එම තොරතුරු ලබාගැනිමට ඇති අවස්ථාව වළක්වා ඇති බවත් පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් එම මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කර තිබේ. 

    විදේශීය විමර්ශන කණ්ඩායම් සාම්පල ලබාගැනීම සිදු කළ ද එය නීතියේ නිසි ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකර තිබේ. ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර එදින විදේශීය නියෝජිතයින් ද පෙනී සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයේ සඳහන්. ඒ අනුව එම විමර්ශන කණ්ඩායම් දේශීය පරීක්‍ෂණ සඳහා අවශ්‍ය සහය සහ නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමට ද එකඟතාව අධිකරණයට පළ කර තිබේ. ඒ අනුව අධිකරණය නිකුත් කළ නියෝග මත මෙම සාම්පල විදේශීය කණ්ඩායම් වෙත බාරදීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පිපිරීම සිදුවූ ස්ථානවල එම පිපිරීම් සිදුවූ පසු පැවරී තිබූ පුපුරණ ද්‍රව්‍ය සාම්පල සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ හිස කොටස්වලින් ලබාගත් රුධිර සාම්පල ද ඒ අතර වේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් එම ස්ථානවලින් අවශ්‍ය සියලු සාම්පල ලබාගැනිමෙන් අනතුරුව විදේශීය විමර්ශන කණ්ඩායම් වෙත අවශ්‍ය සාම්පල ලබාගැනිමට අවස්ථාව ලබාදුන් බවද එම නිවේදනයේ සඳහන් වේ. මේ අනුව විදේශීය විමර්ශන කණ්ඩායම් විසින් සාම්පල ලබාගැනිම හේතුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට කිසිදු බාධාවක් ඇති නොවූ බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 20:36

    Latest News