නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්

ජූනි 03, 2019

    නිරිත දිග මෝසම් තත්වය, ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද රාත්‍රී සිට අපේක්‍ෂා කෙරේ. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් ව්ටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ත්, 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව පැවසේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි අපේක්‍ෂා කෙරේ. දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව එම ප්‍රදේශවල තද සුළං ඇතිවනු ඇත. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මේ අතර, මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර 3ක් පමණ ඉහළයාමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මුහුදු රළ ගොඩබිමට පැමිණිමේ හැකියාවක් පැවතිය ද එම රළ, උස් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නාවික හා ධීවර ප්‍රජාව මෙන්ම ආසන්න වෙරළබඩ ජනතාව ද මේ පිලිබඳ අවධානයෙන්  පසුවිය යුතු බව නිවේදනයේ සඳහන් වේ.

    Latest News