පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත සහ බලපෑමට ලක් දරුවන්ට අරමුදලක්

ජූනි 03, 2019

    පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත වූ සහ බලපෑමට ලක්වූ දරුවන් සඳහා විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.

    එය රුපියල් මිලියන 500කින් සමන්විතයි. ඉන් රුපියල් මිලියන 100ක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මුදල ආධාර ලෙස ඊට එකතු කෙරේ. මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ සහ දෙමාපියන් මියයාම හෝ ආබාධිත වීමෙන් බලපෑමට ලක්වූ දරුවන් වෙනුවෙන් මෙම විශේෂිත ළමා අරමුදල පිහිටුවේ. එමෙන්ම ඉන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවලදී රජය වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගැනීම සඳහා කටයුතු කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරේ. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මෙම කාර්යයන් අධීක්‍ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත්කිරීමට නියමිතයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 261 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. ඉන් 174 දෙනෙකු සහ තුවාල ලැබූ 226 දෙනෙකුට වන්දි පිරිනැමිණ. ඉතිරි පිරිසට ද වෛද්‍ය වාර්තා ලැබුණු වහාම වන්දි ලබාදෙන බව රජය පවසයි.

    ඊට අමතරව විනාශයට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද රජය ලබා දී තිබේ. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය පුළුල් කිරීම සඳහා වරාය අධිකාරියට අයත් පර්චස් 9ක ඉඩමක් ද ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on සදුදා, 03 ජූනි 2019 19:58

    Latest News