ඇවෙන්ගාර්ඩ් වන්දි නඩුවෙන් රක්නා ලංකා සමාගමට වාසි සහගත තීන්දුවක්

මැයි 24, 2019

    සීමාසහිත ඇවෙන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් (පුද්ගලික) සමාගම වෙත ඇමෙරිකන් ඩොලර් මිලියන 5ක වන්දියක් ගෙවන ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක (ලංකා) සමාගමට නියම කරමින් සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය විසින් ලබාදී තිබූ තීන්දුවක් සිංගප්පූරු අභියාචනාධිකරණය විසින් ගාස්තුවට යටත්කොට ඉවත දමා ඇත.

    ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධිත පූර්ණ රාජ්‍ය සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවෙන්ගාර්ඩ් සමාගම අතර පැවැති ව්‍යාපාරික ගිවිසුම රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් පැහැර හැරිය බව පවසමින් සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය නඩුවක් ගොනුකර තිබිණි.

    ඇවෙන්ගාර්ඩ් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සමාගම අතර ව්‍යාපාරික ගිවිසුමට අනුව ගාලු වරායේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව 2015 වසරේදි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. ශ්‍රී ලංකා පොලිසිය විසින් පාවෙන අවි ගබඩාව අත්අඩංගුවට ගැනීම සිදු කළේ අනවසරයෙන් අවිගබඩාවක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේයි.

    එහිදී ඇවෙන්ගාර්ඩ් සමාගම එම අවි ගබඩාවේ නීත්‍යානුකූල භාවය තහවුරු කිරීමට රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් අන්‍යොන්‍ය සහයෝගය ඉල්ලූ නමුත් එය ලබානොදුන් බවට චෝදනා කරමින් ඇවෙන්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිංගප්පූරු බේරුම් කරන නඩුකරයක් ගොනු කළේය.

    එම නඩු විභාගයට රක්නා ආරක්ෂක ලංකා සමාගම සහභාගී වී නොමැති අතර සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය ඒකපාර්ශවිකව නඩුව විභාග කර ඇවෙන්ගාර්ඩ් සමාගම වෙත ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක නඩු ගාස්තුවලට යටත්ව ගෙවන ලෙස රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියම කරනු ලැබුවේ 2016 නොවැම්බර් 24 වැනි දාය.

    පසුව රක්නා ආරක්ෂක ලංකා සමාගම එම තීන්දුවට එරෙහිව සිංගප්පූරු මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කරනු ලැබූ නමුත් එම අභියාචනය ප්‍රතික්ෂේප විය.
    අනතුරුව රක්නා ආරක්ෂක ලංකා සමාගම යළිත් එරට අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ගොනු කරන ලදී.

    ඒ අනුව සිංගප්පූරු අභියාචනාධිකරණය එහි තීන්දුව 2019 මැයි මස 10 වැනි දින ප්‍රකාශයට පත් කළේය. සිංගප්පූරු බේරුම් කරන මධ්‍යස්ථානය මගින් දුන් තීන්දුවට ඇවන්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා සමාගම ගෙවිය යුතු ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක වන්දි ඉවත්කොට තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ. එම තීන්දුවට රක්නා ආරක්ෂක ලංකා සමාගමට නඩු ගාස්තුද ගෙවන ලෙස ඇවෙන්ගාර්ඩ් සමාගමට නියෝග කොට ඇත.

     

     

     

     

     

     

     

    Latest News