වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප ලබාදීම ගැන පොලිස් පරීක්‍ෂණ ඉදිරියට

මැයි 10, 2019

    රුපියල් ලක්‍ෂ 83ක් සහ රන් පවුම් 97ක් සමඟ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කොම්පඤ්ඤවීදිය පොලිසිය ඊයේ සවස කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
    බුහාරි මොහොමඩ් රාෆික් නමැති මේ සැකකරු ගල්විහාර පාර, දෙහිවල ලිපිනයේ පදිංචි කරුවෙක්. මොහුත් මෙම ත්‍රස්තවාදී කන්ඩායම සමඟ සම්බන්ධකම් තිබෙන බවට, ලැබුනු තොරතුරක් මතයි මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ වගේම ටී.බී.ජයා මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි මේ සැකකරු සේවය කරන පෞද්ගලික ආයතනයේ තිබෙන ඔහුගේ නිල කාමරය පරීක්‍ෂාවට ලක් කළා පොලිසිය.

    එහිදී ඒ නිල කාමරයේ සඟවා තිබූ රුපියල් ලක්‍ෂ 83කට අධික මුදලකුත්, ග්‍රෑම් 776කට අධික එනම්, පවුම් 97ක් පමණ වන රන් ආභරණ සොයා ගැනිමට හැකියාව ලැබුණා. ඒ වගේම සැකකරුගේ දෙහිවල පිහිටි සුපිරි නිවසකුත්, තවත් බැංකු ගිණුම් කිහිපයකුත් අනාවරණය වුණා. ඊයේ රාත්‍රී කාන්තන්කුඩිය පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

    මොහොමඩ් අලියාර් නමැති පුද්ගලයෙක්. සැකකරු මොහොමඩ් සහරාන් නමැති මරාගෙන මැරෙන බෝම්බකරු සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වන ලද පුද්ගලයෙක් බවටත්, මොහොමඩ් සහරාන් සමඟ මුදල් ගනුදෙනු කරන පුද්ගලයෙක් බවටත් අනාවරණය වෙලා තියෙනවා. මේ සැකකරු හම්බන්තොට ප්‍ර දේශයේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ආරක්‍ෂිත නිවසක පවත්වන ලද පුහුණු ක්‍රියාකාරකම් කිහිපයකට ද සම්බන්ධ පුද්ගලයෙක් බවටත් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා.

    ඒ වගේම කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ පුපුරුවා ගැනීම සිදුකරගත් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් සඟවා තබා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් අද සොයාගැනිමට පොලිසියට හැකිවුණා. බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් මේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත්තේ වෙරළ පාර, කාන්තන්කුඩි 06 ප්‍රදේශයේ වෙරළ තීරයේ වළ දමා තිබියදී.“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

    වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් නව දෙනාට ඇපලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළේය.


    “වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ මේ වෙද්දි සටහන් කරලා තියෙනවා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මේ පිලිබඳ අතුරු වාර්තාවක් ලබාදීමට නියමිතයි. අතුරු වාර්තාව ලද වහාම මෙයට වගකිව යුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ අවස්ථාවේදී වගකීමෙන් සඳහන් කරන්න කැමතියි“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දුරටත් පැවසීය.

    ඩ්‍රෝන කැමරා තහනම සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා...

    “පසුගිය දවසේ අපි නිවේදනයක්කළා ලංකාවේ ගුවන් ප්‍රදේශය තුළ ඩ්‍රෝන සහ සියලුම නියමුවන් රහිත ගුවන් යානා පියාසර කිරිම නැවත දැනුම් දෙන තුරු තහනම් බව. විවිධ ප්‍රදේශයන්හි මෙවන් යානා ලෙස සැකකරන යානා නිරීක්‍ෂණය වීම ගැන වාර්තා අපට ලැබී තිබෙනවා. මෙවන් වාර්තා බොහොමයක් කුඩා සෙල්ලම් ඩ්‍රෝන සහ සරුංගල් බවට පරීක්ෂණවලදී අපට පෙනී ගියා.

    නීති විරෝධි ලෙස මෙවන් යානා පියාසර කරන්නන් රටේ ආරක්‍ෂාවට හානි කිරීමට එසේ සිදුකරන බවට අපට උපකල්පනය කරන්න සිදුවෙනවා. සියලුම ආරක්‍ෂක අංශවලට සහ පොලිසියට උපදෙස් දී තිබෙන්නේ මෙවන් යානා දුටු විට එම යානා පහතට දමන්නට කටයුතු කරන්න කියලයි. යැයි ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    Latest News