හම්බන්තොට වරායේ ආරක්‍ෂාව සහ මෙහෙයුම් ශ්‍රී ලංකාව සතුයි;අගමැති (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    හම්බන්තොට වරායේ ආරක්‍ෂාව සහ මෙහෙයුම් සම්පුර්ණයෙන් ශ්‍රී ලංකාව සතු කාර්යයක් මිස, වෙනත් රටකට පැවරෙන්නක් නොවන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    අද ආරම්භ වූ ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ තුන්වැනි රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ තුන්වැනි රැස්වීම සහ ආසියානු දේශපාලන පක්‍ෂවල ජාත්‍යන්තර සමුළුව අද සහ හෙට කොළඹ දී පැවැත්වේ. ඊට ආසියාවේ හා යුරෝපයේ දේශපාලන පක්‍ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නායකයන් 90 දෙනෙකු පමණ සහභාගි වේ.

    2000 වසරේදී ආරම්භ වූ “අයිකැප්“ යන කෙටි නමින් හැඳින්වෙන මේ සංවිධානයේ අරමුණ, ආසියානු හා යුරෝපා රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය නැංවීමයි. ශ්‍රී ලංකාව, එහි ක්‍රියාකාරී රාජ්‍යයක්. මෙවර සමුළුවේදී සංවිධානයේ සම සභාපතිත්වය, අමාත්‍ය දයා ගමගේ මහතා වෙන පිරිනැමේ. සමුළුව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව වත්මන් ගෝලීය ප්‍රවණතා හොඳින් අවබෝධ කරගෙන ඇති බවයි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......

    “ශ්‍රී ලංකාවේ අපි සියළු රටවල් සමඟ මිත්‍රත්වය පවත්වා ගන්නවා. ඉන්දියාව ඉතිහාසයේ පටන් අපේ හවුල්කරුවා. පාකිස්තානය, බංග්ලාදේශය එකම ශිෂ්ටාචාරයකයි. ජපානය හා අපි බැඳුනේ සැන්ප්‍රැන්සිස්කෝ සමුළුවේ සිටයි. අමෙරිකාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකාව මහජන චීනය පිලිගෙන ප්‍රථමයෙන් වෙළෙඳ ගිවිසුම් ගතවූ රටක්. මේ තත්වය අපි දිගටම පවත්වා ගන්නවා. අපි කාගේවත් තරගයකට කොටුවන්නේ නැහැ. අපි කරන්නේ හැමෝගෙන්ම අපට අවශ්‍ය දේ පමණක් ලබාගැනිමයි. බොහෝ අය සළකනවා හම්බන්තොට වරාය චීන හමුදා කඳවුරක් කියලා. මම පිළිගන්නවා එහි හමුදා කඳවුරක් තිබේවි. ඒත් එය ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරක්. ස්ථාපනය වූ විට රියද් අද්මිරාල්වරයෙකු යටතේ පාලනය වේවි. ඕනෑම රටක නැවකට එහි පැමිණිය හැකියි. එය පාලනය කරන්නේ අපි.) යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 19:35

    Latest News