"සිරිසර පිවිසුම" යටතේ කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    "සිරිසර පිවිසුම" ජාතික වැඩපිළිවෙළ යටතේ ශ‍්‍රීපුර කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) පෙරවරුවේ සිදු විය.

    වැව් 500ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ "සිරිසර පිවිසුම" ජාතික වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ සංකල්පයකී. එය ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කෙරේ. සියක් නමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය.

    සතර දෙසින් පැමිණි ප‍්‍රජාව විසින් තම බව බෝග ජනාධිපතිතුමා වෙත ලබාදෙමින් ඒවා හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි. අනතුරුව ජනාධිපතිතුමා විසින් පිරිත් පැන් වැව් ජලය වෙත මුදාහැරිය අතර මත්ස්‍ය පැටවුන් වැව වෙත මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ආදිවාසි ජනතාව විසින් මෙහිදී සම්ප‍්‍රදායානුකූලව කිරිකොරහ නර්තනය ඉදිරිපත් කළ අතර අනතුරුව අමුත්තන් ගැමි ගෙදර වෙත කැඳවාගෙන ගොස් හෙළ සංස්කෘතියට අනුව කැවිලි පෙවිලිවලින් සංග‍්‍රහ කෙරිණි. ඉන් අනතුරුව ජනාධිපතිතුමා, ආදිවාසි නායක වන්නිලා ඇත්තන්, යුද හමුදාපතිතුමා, වන්නි ආඥාපති ඇතුළු පිරිස ගැමිගෙදර දී සංවාදයකට ද එක් විය.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 18:51

    Latest News