කණිෂ්ඨ ටෙනිස් ක්‍රීඩිකාව කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධ පෙත්සම හෙට

අප්‍රේ 04, 2019

    තායිලන්තයේ පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ටෙනිස් සංගම් කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නිහාරා වීරවංශ නමැති 15 හැවිරිදි ක්‍රීඩිකාව ඉවත් කීරීමට එරෙහිව එම ක්‍රීඩිකාව ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට(05) දින කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

    කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කර තිබේ.

    මෙම පෙත්සම අද(04) කැදවූ අවස්ථාවේදී වග උත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කාර ක්‍රීඩිකාව යළි කනිෂ්ඨ ටෙනිස් සංගම් කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් කරනු ලබන කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙස ඇමතිවරයා ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයට උපදෙස් දී ඇති බවයි.

    අධිකරණය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අසංග සෙනෙවිරත්න නැමැත්තෙකු ක්‍රීඩා අමාත්‍යවරයාට කළ පැමිණිල්ලකට අනුව එම ක්‍රීඩිකාව කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගැනුණු බව ප්‍රකාශ කර ඇත. පෙත්සම්කාර නිහාරා වීරවංශ ක්‍රීඩිකාව ස්පාඤ්ඤයේ පුහුණුව ලැබූ තැනැත්තියක් බවත් ඇයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසු කමක් නොමැති බවටත් එම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබූ බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙම කරුණු දැන් සමථයකට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී තිබෙන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

    එහෙත් නඩුවේ 4 වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින අසංග සෙනෙවිරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තම සේවාදායකයන් විරෝධතා ඉදිරිපත් කරන බවයි.

    ඒ අනුව මෙම පෙත්සම හෙට දින සලකා බලන බව අභියාචනාධිකරණය නියම කළේය.

    Latest News