රවින්ද්‍ර විජේගුණරත්න වරෙන්තු සැකකරු රඳවාගෙන සිටියා

අප්‍රේ 03, 2019

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාත් හෙට්ටිආරච්චිව අත්අඩංගුවට ගැනීමට නොහැකි අන්දමින් නාවික හමුදා මූලස්ථානයේ රඳවා සිටී බවට සාක්ෂි ඇතැයි අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

    ප්‍රසාත් හෙට්ටිආරච්චි නාවික හමුදා මූලස්ථානයේ සිටියදි ඔහුගේ බිරිඳ හා තවත් ඥාති කාන්තාවක් අවස්ථා කිහිපයක් ඔහු රැඳී සිටි ස්ථානයට ගොස් හමුවි ඇත. ප්‍රසාත් හෙට්ටිආරච්චිව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එලියට නොබසින ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නියෝග කළ බවට අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු ලබාදුන් ප්‍රකාශයේ සඳහන් ඇති බව අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනී.

    සැකකාර ප්‍රසාත් හෙට්ටිආරච්චි විදේශ ගතවීමට නාවික හමුදා බොදු අරමුදලින් රුපියල් ලක්ෂ 5ක් ලබා දීම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් අපරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව අද කියා සිටියේය. වරෙන්තු සැකකරුවෙකුට අධිකරණය මගහැරීමට ආදාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හා ව්‍යාපාරික ලක්සිරි අමරසිංහට එරෙහිව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ පැමිණිල්ල අද කැඳවනු ලැබිණ.

    මෙම පැමිණිල්ලේ පරීක්ෂණ ප්‍රගතිය ජූලි 17 වනදා වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

     

     

    Latest News