අද ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා යෑමට නියමිතයි

නොවැ 15, 2022

    ලෝක ජනගහනය අද දිනයේ බිලියන 8 ඉක්මවා යෑමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මෙය මිනිස් වර්ගයාගේ ඓතිහාසික සංදිස්ථානයක් බවයි.



    ගෝලීය සෞඛ්‍ය ආරක්ෂණය, පුද්ගල පෝෂණය ‍සහ සනීපාරක්ෂාව යන ක්ෂේත්‍රවල සංවර්ධනය හා පරමායුෂ වැඩි වීම මීට හේතුවයි. ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා ඉහළ යාමට ගත වූ කාලය වසර 12 ක්. එය බිලියන 9 දක්වා ඉහළ යාමට වසර 15 ක් ගත වනු ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. ලොව, වැඩිම මරණ අනුපාත පවතින රටවල් ලොව වඩාත්ම දුප්පත් රටවල් ලෙස සැලකෙනවා. ඒවායින් බහුතරයක්, අප්‍රිකානු රටවල්‍.

    එහි ජනගහන වර්ධනය ද වැඩියි. ජනගහනය වර්ධනය වීම, පාරිසරික සහ ආර්ථික සඳහා සෘජු බලපෑමක් එල්ල කරනවා. ලොව ජනගහනය වැඩි වීම සහ ආර්ථික බලපෑම් අතර සම්බන්ධතාවයක් ද පවතිනවා. ලොව වැඩිම ඒක පුද්ගල ආදායම ලබන රටවල්වල ජනගහන වර්ධනය දියුණුවෙමින් පවතින රටවල ජනගහන වර්ධන වේගයට වඩා අඩුයි.

    පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව, සාමාන්‍යක් ලෙස ගත් කළ, වසර 72.8 ක්. නමුත්, වසර 2050 වන විට එය 77 දක්වා ඉහළ යනු ඇති බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරන්නේ.
    මේ වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක්ම ජීවත් වන්නේ, රටවල් 5 ක බව, එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වෙනවා. එම රටවල් වන්නේ, චීනය, ඉන්දියාව, අමෙරිකාව, ඉන්දුනීසියාව සහ පකිස්තානයයි.

    Latest News