යළිත් තෙල් මිල සංශෝධනයක් ගැන ඇමතිගෙන් ඉඟියක්

ඔක් 04, 2022

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61ක ලාභයක් ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

    ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62ක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55ක් ද ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89ක් ද, ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබමින් සිටින බව එහි දැක්වේ.

    භූමිතෙල් ලීටරයකින් රුපියල් 30.62ක පාඩුවක් ලැබීමට ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මෙම ලාභය සිදුව ඇත්තේ, පසුගියදා කළ මිල සංශෝධනයෙන් සහ බදුවලින් පසුව බවද එම වාර්තාවේ සඳහන් වේ.

    ඔක්ටේන් 95 පෙට්‍රල් මිල පදනම්ව ඇත්තේ මීට මාස 5කට පෙර ආනයනය කළ මිල මත බවද අමාත්‍යවරයා සිය ව්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ.

    මේ වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යෑම හේතුවෙන් තවත් දින 14කින් හෝ 15කින් මිල සංශෝධනයක් සිදු කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    එමෙන්ම, බොරතෙල් මිල මත පිහිටමින් පමණක් ඩීසල් හෝ පෙට්‍රල් මිල පහළ දැමිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

    බොරතෙල් පිරිපහදුවෙන් සපුරාගත හැක්කේ මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 30ට අඩු ප්‍රමාණයක් බවත්, සියයට 70ක් ආනයනය කිරීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News