බොරැල්ල OIC අනතුරට ලක්කළ ඩිෆෙන්ඩරයේ රියදුරු යළි රිමාන්ඩ් (වීඩියෝ)

මාර් 11, 2019

    බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ බව කියන ඩිෆෙන්ඩර් රථයේ රියදුරු තවදුරටත් ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනී පෙරේරා මහත්මිය නියම කෙරිණ.

    එදින මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමුකිරීමට පියවර ගන්නා ලෙස ද මහෙස්ත්‍රාත්වරිය නියම කරනු ලැබීය.

    මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු දක්වමින් අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා මේ වන විට මියගොස් ඇති බැවින් මරණ පරීක්ෂණයක් පැවැත්වීම අවශ්‍ය බව කියා සිටියාය.

    ඒ අනුව මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ සැකකරු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා යොමු කරන මෙන් ද නියම කළේය.

    දැනට පොලිසියේ භාරයේ තිබෙන මෙම රිය අනතුර සිදුකල වාහනයට පසුපසින් ගමන් ගත් තවත් වාහනයක් මුදා හරින මෙන් එහි හිමිකරුවන් විසින් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

    පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ විරෝධය පළ කර සිටි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකෙරෙන බැවින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ද අධිකරණය තීන්දු කළේය.

     

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:20

    Latest News