ඉරාන් - දේශපාලන කුමන්ත්‍රණ පරදා රට නගන අයවැයක්

මාර් 11, 2019

    ව්‍යවසායට මුල්තැන දෙමින් සමාජ සවිබලගැන්වීම හා නැති බැරි අය ආරක්ෂණය කරන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බවත් මූල්‍ය විනය ආරක්ෂා කර ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට අද (11) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    ඉරාන් වික්‍රමරත්න මහතා “දේශපාලන කුමන්ත්‍රණය නිසා අයවැය ඉදිරිපත් කරන්න සිදු වුණේ මාර්තු මස 5 දිනයි. අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය අර්ථිකයට හානි වීම බලන්න ඕන. මූඩීස් ආයතනය අපේ ශ්‍රේණිගත කිරීම පහළට දැම්මා. කුමන්ත්‍රණය වූ වෙලාවේ දීම පොළිය ඉහළ ගියා. රටෙන් ආව ආයෝජනය එළියට ගියා. කුමන්ත්‍රණය නිසා රටට වූ හානිය ගණනය කරන්න අමාරුයි. ආර්ථික හානිය ගනනය කරන්න බෑ. ලංකාව තමයි ලෝකයේ පළමු තැන සංචාරක පැමිණීමට. රටේ විදෙස් ආයෝජනය කරන්න ඉන්න අය මෙවැනි අස්ථාවර අවස්ථාවල වෙන රටවලට ගිහින් ආයෝජනය කරනවා. ඒ නිසා දේශපාලන කුමන්ත්‍රණයෙන් සිදු වූ ආර්ථික හානිය ගණනය කරන්න බෑ.

    මූල්‍ය විනය තබා ගැනීම අයවැයෙන් මූලික පදනමක්. මූල්‍ය විනය තබාගෙන අයවැය පරතරය 4.5ට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. මෙය මැතිවරණ අවුරුද්දක්. වසර හැත්තෑවෙම වුණේ දේශපාලන අරමුණු නිසා අයවැය හදලා අර්බුදවලට මුහුණ දුන්නේ. මූල්‍ය විනය ආරක්ෂා කර ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

    ව්‍යවසායට මුල්තැන දී තිබෙනවා. සමාජ සවිබලගැන්වීම හා නැති බැරි අය ආරක්ෂාණය කරන අයවැයක්. ලංකාවේ ව්‍යවසායකත්වය අඩුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙන් ම ගම්පෙරළිය හරහා ග්‍රාමීය ආර්ථික ශක්තිමත් කරන්න ගමේ වැව, මාර්ග සංවර්ධනය කරනවා. කුඩා පරිමාණ ජල යෝජනා ක්‍රම කරනවා. සතිපොළ හදනවා, ළමා උද්‍යාන හදනවා, සෑම නිවසකට විදුලි බලය ලබාදෙනවා, ආගමික ස්ථාන සංවර්ධනය කරනවා. විශාල වැඩසටහනක් ගම්පෙරළිය හරහා කරගෙන යනව. අපට වැඩපිළිවෙලක් තිබෙනවා. ඇතැම් අය මෙය සිහිනයක් කියනවා. මේ අයවැය යෝජනා ප්‍රායෝගිකව බැලුවා. මේවා සම්පූර්ණ කරන්න ඒකකයක් පත් කර තිබෙනවා.

    යල මහ කන්න දෙකම නොකඩවා වගා කරන්න මුදල් වෙන් කර තිබෙනවා. කාන්තාවන්ට කිසිම බාධාවක් නොමැතිව ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. වයසට ගිය කලාකරුවන් සිටිනවා. ඒ අය ජීවත් වෙන්නේ දුකෙන්. ඒ කලා කෘතිවලින් ලාබ ගන්නේ කවුද? නිර්මාණවල අයිතිය වෙනුවෙන් හිමි ගෙවීන් සාධාරණ ලෙස ගෙවිය යුතුයි. රටක් වටිනා කලාකරුවන්ට වටිනාකමක් ලබාදෙමින් සමාජයේ හිමි තැන ලබාදෙනවා. රුපියල් මිලියන 800ක් ජෝන් ද සිල්වා රඟහල අලුත් වැඩියාවට වෙන් කළා. අපි සමාජ වෙලඳ පොළ ආර්ථිකයක් ඇති කරනවා කිව්වා. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින්න අප තීරණයක් ගත්තා. නියඟය තිබූ දිස්ත්‍රික්කවල මේ ණය කරුවන් 45139ක් නිදහස් කර තිබෙනවා. රජය ඒ මුදල පියවනවා යැයි“ ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 12:55

    Latest News