ධම්මික පෙරේරාට එරෙහි පෙත්සම් ඉවතට....

ජූනි 21, 2022

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 5ක්, විභාගයට නොගෙන ප්‍රතික්‍ෂේප කෙරුණා.

    ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවත් සමගින්. පෙත්සම සලකා බැලීම අද (21) දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යයන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණා.

    කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරුමඩුල්ලේ සභාපති ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ, පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ බවයි.

    ධම්මික පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.

    තම සේවාදායකයා දැනටමත් මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කොට ඇති හෙයින් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් තිබේ දැයි තීරණය කිරීමේ බලය තිබෙන්නේ කතානායකවරයා වෙත පමණක් බව, ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා. එම කටයුතු සඳහා මැදිහත් වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි, ඔහු අවධාරණය කළේ.

    පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ, ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක පුරප්පාඩු වන අවස්ථාවක, ඊට සුදුසු පුද්ගලයෙකු පත්කිරීමේ අභිමතය පක්ෂයක මහලේකම්වරයා සතු බවයි. එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ප්‍රදානය කිරීමට, අධිකරණයට බලයක් නෙමැති බවත් ඔහු අවධාරණය කළා.

    Latest News