ලෝක ජල දිනය අද

මාර් 22, 2022

    ලෝක ජල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර ලෝක ජල දිනයේ දී  භුගත ජලය ආශ්‍රිතව ‘’නොපෙනෙන දේ පෙනීමට සැලැස්වීම’’  යන තේමාව මඟින් ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම සහ කාර්යභාරය පෙන්වා දෙයි.

    ඒ නිමිත්තෙන් ජල සම්පාදන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන ජාතික ජල දින සමරු මහෝත්සවය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද ප.ව. 4.30ට පැවැත්වෙයි.

    මෙම සමරු උත්සවයට සමගාමීව කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව වසර ගණනාවක් පුරා මුහුණදුන් ප්‍රධාන ජල ගැටළුවක් වන පානීය ජලයට මුහුදු ජලය එක්වීම සම්බන්ධ ප්‍රශ්නය නිමා කිරීම සදහා ඉදිකරන ලද අලුත්ගම,මතුගම,අඟලවත්ත ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරීම සහ ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීම උදෙසා ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘතීන් සාර්ථකව නිම කර ජන සතු කිරීමද සිදුකෙරේ.

    සමාජ මාධ්‍ය මඟින් පාරිභෝගික සේවා සපයන දකුණු ආසියාවේ ප්‍රථම උපයෝගිතා ආයතනය ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමාජ මාධ්‍ය හරහා පාරිභෝගික සේවා සැපයීමේ ඩිජිටල් තාක්ෂණ වැඩපිළිවෙල ආරම්භ කිරීම සහ ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජිකයන් සදහා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමද ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා අතින් මෙදින සිදුකෙරේ.

    මෙවර ජල දිනයේ විශේෂාංගයක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හොඳම කළමනාකරු කාර්යාලය සඳහා ජනාධිපති සම්මානය පිරිනැමීම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හොඳම වැඩ භාර නිළධාරී කාර්යාලය සදහා ජනාධිපති සම්මාන පිරිනැමීම හා ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුවේ හොඳම ප්‍රජා ජල සමිතිය සදහා ජනාධිපති සම්මාන පිරිනැමීමද සිදුකෙරේ.

    විදේශීය තානාපතිවරුන්, දේශීය හා විදේශීය කොන්ත්‍රාත් සමාගම්හි නියෝජිතයන් හා උපදේශකවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වේ.

    Last modified on අඟහරුවාදා, 22 මාර්තු 2022 09:46

    Latest News