ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුවත් කිරීමක්

මාර් 13, 2022

    'සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය' යනුවෙන් සමාජ මාධ්‍ය වන සංසරණය වන පණිවුඩය සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි. මෙවැනි පණිවුඩයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් මාධ්‍ය ආයතාන වෙත හෝ කිසිඳු සමාජ මාධ්‍ය වෙත හෝ වෙනත් ආකාරයකින් හෝ මහජනතාව වෙත නිකුත් කර නොමැති බව එම කාර්යාලය පවසයි.

    සමාජ මාධ්‍ය ජාලවල මේ වන විට 'සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය' යනුවෙන් ප්‍රවේශම් වන්න ආර්ථික අර්බුද ලෙස කරුණු 22ක් ඇතුලත් කර අවසානයේ 'පරිස්සමින් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව' යනුවෙන් සඳහන් කරමින් මෙම ව්‍යාජ පණිවුඩය සකස් කර තිබේ.

    ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව දැනුවත් කළ යුතු කරුණු තිබේ නම් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් මාධ්‍ය නිවේදන ලෙස නිකුත් කර මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බව, වැඩිදුරටත් දැනුම් දෙයි.

    මෙවැනි ව්‍යාජ ලෙස සකසන ලද පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම ව්‍යාජ පණිවුඩය නිකුත් කරන ලද පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවත් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Latest News