නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් අද වැඩ භාර ගනී

ජන 19, 2022

    නව ජනාධිපති ලේකම්, ගාමිණී සෙනරත් මහතා අද (19) උදේ සුබ මොහොතින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ සිදු වූ පුරප්පාඩුව පියවමින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කෙරිණ.

    මාතර රාහුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයන්හි කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

    වසර 1984දී රාජ්‍ය පරිපාලන විභාගය සමත්ව ත්‍රිකුණාමලය, මොරවැව සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සිය රාජකාරිය ආරම්භ කළ ඒ මහතා පසුව ආගමන විගමන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි වැනි ධුර දරමින් මේ වන විට මෙරට සිටින දක්ෂ, පළපුරුදු සහ අත්දැකීම් බහුල රාජ්‍ය සේවයේ පළමු පන්තියේ නිලධාරියකු බවට පත් වී සිටියි.

    Latest News