නිල විදේශ සංචිතය එක්සත් ජනපද ඩො.බි. 3.1 ට ලඟාවේ 

දෙසැ 29, 2021

    තම ආයතනය 2021 දෙසැම්බර් 22 ප්‍රකාශයට පත් කළ පරිදි අපේකෂිත විදේශ මුදල් ගලා ඒම මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

    මෑත කාලීනව සිදු වූ ලැබීම් සමග නිල විදේශ සංචිත තත්වය මේ වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1 ක් පමණ දක්වා පමණ ලඟාවී ඇත. එය 2021 අවසන් වන විට ද එම මට්ටමේ ම පවතිනු ඇතැයි අපේකෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. මීට අමතරව, සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිද, දැනට සාකච්ඡා කෙරෙමින් පවතින අනෙකුත් පහසුකම් කිහිපයක් සම්බන්ධයෙන් වන විදේශ මුදල් ලැබීම් 2022 ජනවාරි මස ආරම්භයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා ක්‍රම හඳුන්වාදීම සහ අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීමේ නීතිරීති වැනි දේශීය වෙළෙඳපොළෙහි විදේශීය මුදල් ද්‍රවශීලතාව ඉහළ දැමීම සඳහා ගත් ක්‍රියාමාර්ග නිල විදේශ සංචිත තවදුරටත් ගොඩනැගීමට උපකාරී වනු ඇති. සංචාරක ක්‍ෂේත්‍රයේ අපේක්‍ෂිත යථා තත්වයට පත් වීම සහ අපනයනවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය සමගින්, විදේශීය අංශ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව, 2022 වසර පුරාවටම සංචිත තත්වය හිතකර මට්ටමක පවතිනු ඇති බව රජයෙ සහ මහ බැංකුවේ විශ්වාසයයි.

    මෙවැනි පසුබිමක් තුළ විදේශ මුදල් ලැබීම් පැහැදිලිවම ලැබෙනු ඇති බව සහතික වී තිබියදීත්, ඇතැම් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ස්වෛරිත්ව ශ්‍රේණිගත කිරීම් පහත හෙළීමට ගත් හදිසි තීරණ හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවල ද්වතියික වෙළෙඳපොළ ආයෝජකයන්ට අනවශ්‍ය පාඩු සිදුවී තිබෙනවා. එවැනි ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවන් ආයෝජකයින්ගේ විශ්වාසය කෙරෙහි ඍණාත්මකව බලපා ඇති අතර, එවැනි අනවශ්‍ය හා ප්‍රශ්නකාරී ක්‍රියා සිදුනොවන්නේ නම් ලැබීමට තිබූ ඇතැම් අපේකෂිත විදේශ මුදල් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මීට පෙර වුවද ලැබීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙනවා.

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 19:22

    Latest News