සුරක්‍ෂා රක්‍ෂණයටත් මඩ ප්‍රචාරයක්

පෙබ 18, 2019

    2018/2019 වර්ෂය සඳහා සුරක්‍ෂා සිසු ආවරණ රක්‍ෂණායතනය තෝරා ගැනීම ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයක් බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

     

    ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් සිදු නොවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සුරක්‍ෂා රක්‍ෂණාවරණයට අයත් ප්‍රතිලාභ දරුවන්ට නොලැබෙන බවට මතවාදයක් සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් සූක්‍ෂම උත්සාහයක නිරතව ඇත.

    සිසු දරුවන්, දෙමාපියන් ඇතුළු ප්‍රතිලාභීන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබියදී එවැන්නක් සිදුවීම කණගාටුවට කරුණක් බව ද නිවේදනයේ දක්වා තිබේ. එය කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. රක්‍ෂණ ඉල්ලීම් අයදුම්පත්‍රය සහ ඊට අදාළ ලිපි විදුහල්පතිවරයාගෙන් සහතික කර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය. ඒ පිළිබඳව සියලු පාර්ශ්ව මේ වනවිටත් දැනුවත් කර තිබේ.

    සුරක්‍ෂා සිසු රක්‍ෂණාවරණයෙන් ලබාදෙන ප්‍රතිලාභ සියල්ල සම්පූර්ණ කරමින් අඩු ලන්සු ඉදිරිපත් කළ සමාගම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව මේ වසරට තෝරා ගැනුණා. එසේ තිබියදී ඇතැම් වෘත්තිය සමිති සිදුකරන චෝදනා පිළිබඳ කණගාටු වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්තිනාමයට හානිවන අයුරින් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. වත්මන් රජයේ අය-වැය යෝජනාවක් අනුව මෙරට හතළිස් ලක්‍ෂයක් වූ පාසල් දරු දැරියන් වෙනුවෙන් සුරක්‍ෂා සිසු රක්‍ෂණය ක්‍රියාත්මක කර ඇත.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 19:21

    Latest News