ජල ගැලීම් නිසා පීඩාවට පත්වන ජනතා ගැටලු අවම කිරීමට අගමැතිතුමා මැදිහත්වෙයි

ජූනි 18, 2021

    අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සාමූහික තීන්දුවකට එළැඹෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) දින අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමේ සාකච්ඡාවකට එක්වෙමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැතිතුමා මේ බව සඳහන් කළේය.

    එක් එක් ආයතන වෙත බෙදී ඇති කාර්යයන් නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවයට පත් වන බව පෙන්වා දුන් අගමැතිතුමා මේ වනවිට ආරම්භ කර තිබෙන ව්‍යාපෘති අතරමග නවතා දැමීමකින් තොරව අවසන් කිරීම සඳහා සියලු ආයතන එක්ව කටයුතු කරන්නැයි නියෝග කළේය.

    ජනතාවට එලෙස කඩිනම් විසඳුම් ලබා දිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයන්ට යටත්ව ලබා දෙන බව අගමැතිතුමා විශ්වාසය පළ කළේය.

    පෙතියාගොඩ, අඹතලේ, ඔලියමුල්ල ජල පොම්පාගාර ආශ්‍රිතව කළ යුතු සංවර්ධන ව්‍යාපෘති, වැසි ජලය බැසයන ඇළ මාර්ග පවිත්‍ර කිරීම සහ සංවර්ධනය කිරීම නව පොම්පාගාර මගින් ජලය බැහැර කිරීම මෙන්ම පහත් බිම්වල ජනතාව ජල ගැලීම්වලට ලක් නොවන ලෙස පදිංචි කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහි දී අගමැතිතුමාගේ අවධානය යොමු විය.

    “ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කරන රජයේ වැඩපිළිවෙලට රාජ්‍ය නිලධාරීන්ගේ සහය මෙන්ම පළාත් පාලන ආයතනවල සහයෝගයත් ඉතා වැදගත්.

    මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡා කරමින් නිවැරදිම ක්‍රමවේද තුළින් සාර්ථක ව්‍යාපෘති ක්‍රියා ත්මක කොට ජනතාවට සහනයක් ලබාදීම ප්‍රායෝගිකව ඉටු කළ යුතු”යැයි අගමැතිතුමා මෙහි දී ප්‍රකාශ කළේය.

    සාමුහිකව ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට වගකීමක් තිබෙන බව කී අගමැතිතුමා අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කළ යුතු යැයි අවධාරණය කළේය.

    විවිධ රාජ්‍ය ආයතන වෙත අලුතින් අනියුක්ත කර ඇති බහු කාර්යය සංවර්ධන කාර්යසාධන බලකායේ රැකියාලාභීන් රටේ සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද අගමැතිතුමා මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

    කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මගී බෝට්ටු ප්‍රවාහනය නිසි නියාමන ක්‍රමවේදයක් සහිතව ක්‍රමවත් කළ යුතු බව ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කෝට්ටේ නගරාධිපති අයි.වී.එම්. ප්‍රේමලාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩබ්ලිව්. ඩී ශාන්ති කුමුදුනී මහත්ම මහත්මීන් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම් සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව, කෝට්ටේ, කඩුවෙල නගර සභා නියෝජනය කරමින් නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News