කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන කිහිපයක් සහිතව, සරළ බහුතරයකින් සම්මත කළ හැකියි; ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

මැයි 18, 2021

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන කිහිපයක් සහිතව, සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන, පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබේ.

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මතය සභාව ආරම්භයේදීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    දීර්ඝ පනත් කෙටුම්පතක් වන එහි බහුතර කරුණු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සරළ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන්. පනත් කෙටුම්පතේ කරුණු කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ. එහෙත් එම වගන්ති සංශෝධනය කරන්නේ නම්, සරළ බහුතරයෙන් එම වගන්ති ද සම්මත කළ හැකිය.

    තවත් වගන්ති කිහිපයක් තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වුවත්, අදාළ සංශෝධන ගෙන එන්නේ නම්, එම වගන්ති ද සරළ බහුතරයකින් සම්මත කළ හැකි බව එහි දැක්වේ.

    Latest News