යුද විජයග්‍රහණයට වසර 12යි....

මැයි 18, 2021

    කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය පූර්ණ ලෙස නිදහස් කරගෙන අද වසර 12ක් සපිරේ. මේ මතක ආවරණය ඒ පිළිබඳවයි....

    ඒ වනවිටත් සිය සාහසිකත්වය සහ මිලේච්ජත්වය ලොවටම ප්‍රදර්ශනය කර තිබූ LTTE සංවිධානය සිය අවසන් ගමන් යාම ආරම්භ කළේ, 2006 ජුලි මාසයේදී. ඒ ඔවුන්ගේ මිලේච්ජත්වය හා එදිරිවාදිකම් කෘෂිකාර්මික ජල සැපයුමක් වසා දමා යළි ප්‍රදර්ශනය කරමින්.

    සේරුනුවර මාවිල්ආරු අමුණ වසා දමා කෘෂිකාර්මික හා පානීය ජල සැපයුම අත්හිටවූ කොටි ත්‍රස්තවාදීන් සේරුනුවර ගොවි ජනපද ව්‍යාපාරයේ අක්කර තිස් දහසකට ආසන්න කෘෂිකා‍ර්ම්ක ඉඩම් ප්‍රමාණයකට හානි සිදු කළේය.

    එම නිසා ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පවුල් සංඛ්‍යාවකට සිය දෛනික අවශ්‍යතා සඳහා ජලය නොමැති වීමෙන් උද්ගත වූයේ දැඩි අර්බුදයක්. අමුණ විවෘත කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම් හා දැනුම්දීම් කිසිවක් නොතකන ලද පසුබිමක අවසානයේ සිදුවූයේ අමුණ විවෘත කර ගැනීමට මානුෂීය මෙහෙයුමක් ආරම්භ කිරීමයි.

    ඒ අනුව, සති දෙකක පමණ ක්‍රියාන්විතයකින් පසු යළි ගොවීන්ගේ ජල සැපයුම සපයාදීමට යුද හමුදාව සමත්විය. ඒ සමඟම නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය මුළුමණින්ම අතුගා දැමීමේ ක්‍රියාන්විතය ආරම්භ කිරීමට එවක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ත්‍රිවිධ හමුදාවට නියෝග කළේය.

    එවක ආරක්‍ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාව ඉතා සැලසුම් ගත අයුරින් නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේ ඒ අනුවයි.

    එකල LTTE සංවිධානයේ පාලනය පැවති සාම්පූර්, වෙරුගල්, පේරාරු, වාකරේ, කදිරවේලි, තොප්පිගල සහ කන්ජිකුඩිච්චිආරු ප්‍රදේශ දක්වා එම ක්‍රියාන්විත ව්‍යාප්ත කෙරිණ. දශක දෙකකට වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් බොහෝ කලක් වනගතව රැය පහන් කරමින් සිටි නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට පූර්ණ නිදහස හිමි වූයේ 2007 ජුලි මාසයේ නැගෙනහිර පළාත් මුළුමනින්ම ත්‍රස්තවාදයෙන් තොර බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

    ඉන් අනතුරුව ත්‍රස්තවාදයෙන් සමස්ත ශ්‍රී ලංකාව මුදා ගැනීමේ ඊළඟ පියවර තැබූ ආරක්‍ෂක හමුදාව මන්නාරම සිලාවතුර ප්‍රදේශයෙන් ක්‍රියාන්විත ආරම්භ කළේය. එම ප්‍රදේශය මුදාගත් පළමු කාර්ය සේනාංකය පසුව වත්මන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අණදුන් 58 සේනාංකය බවට, පත්වී අඩම්පන් ප්‍රදේශය ඔස්සේ මන්නාරමෙන් උතුරුට සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

    ඊට සමගාමීව 57 සේනාංකය වවුනියා ඉරනෙයි ඉලුප්පායිකුලම්, ප්‍රදේශයෙන් ද 59 සේනාංකය වැලිඔය ප්‍රදේශයෙන් ද ත්‍රන්තවාදය නිමා කිරීමේ මානුෂිය ක්‍රියාන්විතයට පියවර තැබීය. දෙවන කාර්ය සේනාංකය පාලමොටෙයි ප්‍රදේශයෙන් ද තුන්වන කාර්ය සේනාංකය වන්නිවිලන්කුලම් ප්‍රදේශයෙන් ද, හතරවන කාර්ය සේනාංකය නෙදුන්කර්නි ප්‍රදේශයෙන් ද සිය මෙහෙයුම් ආරම්භ කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටන වේගවත් කිරීමට එක්වූහ.

    ඒ අතර වාරයේ උතුරේ ජාතික පෙරමුණ වූ කිලාලි මුහමලේ නාගර් කෝවිල් ආරක්ෂක වළල්ල රැක ගනිමින් සිටි 53 හා 55 සේනාංක ත්‍රස්තවාදී බැමි බිඳ දමමින් දකුණු දෙසට මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. සටන් පෙරමුණු 09කින් තෙරපීමකට ලක් කළ කොටි සංවිධානයට එරෙහිව අවසන් වශයෙන් ක්‍රියාන්විතයට එක්වූයේ 08 වන කාර්ය සේනාංකයයි.

    2009 පෙබරවාරි මාසය වනවිට මේ සටන් පෙරමුණු සියල්ලෙන්ම අන්ත පරාජයට පත්වෙමින් පැමිණි ත්‍රස්තවාදී කල්ලිය පුදුකුඩුරිප්පු ආශ්‍රිත වර්ග කිලෝ මීටර් කිහිපයක බිම් කඩකට සීමා විය. එහිදී ඔවුන් සිය ආරක්‍ෂක පලිහ ලෙස යොදා ගත්තේ ලක්ෂ සංඛ්‍යාත ප්‍ර ශයේ සාමාන්‍ය වැසියන්. අහිංසක සිවිල් වැසියන්ට හානියක් සිදු නොවන අයුරින් ත්‍රස්තවාදින්ගෙන් ඔවුන් මුදා ගැනීමේ යුද උපාය හා සැලසුම් සකස් කිරීමට විරෝධාර රණවිරුවන් සමත්වූහ.

    2009 අප්‍රේල් මාසයේ සිට වරින් වර සාමාන්‍ය වැසියන් සමූහ වශයෙන් රජයේ පාලන ප්‍රදේශ වෙත කැඳවා ගනු ලැබූවේ එම උපාය උපක්‍රම අනුවයි. ඒ අනුව, සියලු සාමාන්‍ය වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගනිමින් LTTE සංවිධානය යටතේ පාලනය වූ සම්පූර්ණ භූමිය ආරක්‍ෂක හමුදා යටතට පත් කරගැනීමෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණය 2009.05.18 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණ.

    ත්‍රස්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමූ බව, නිවේදනය කෙරුණේ, මැයි 19 වැනි දින කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ කුඩා කල්ලිය යුද හමුදා ප්‍රහාරයකින් මියයාමෙන් පසුවයි.

    එවක ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මනා සම්බන්ධීකරණයෙන් යුද, නාවික, ගුවන් හමුදාවන්ට අමතරව ශ්‍රී ලංකා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම සිවිල් ආරක්‍ෂක බලකාය ද මානුෂීය ක්‍රියාන්විතයට සෘජු හා අමිල දායකත්වයක් ලබාදුන්නේය.

    යුද හමුදාව ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගමන් කිරීමේදී අත්පත් කරගත් ප්‍රදේශ බොහෝ විට ආරක්‍ෂා කරගනු ලැබුවේ පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායයි.

    එසේම පොලිස් විශේෂ කාර්ය බලකාය ද නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක ත්‍රස්තවාදයට එරෙහි සෘජු මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. රණවිරුවන් එදා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, වර්තමානයේ ද එම රණවිරුවන් රටේම ජනතාව වෛරසයකින් මුදා ගැනීමේ තවත් බරපතල මානුෂීය ක්‍රියාන්විතයකට උර දී තිබේ. 

    Latest News