පවතින ආණ්ඩුව වගේම පැවති ආණ්ඩුත් දරුවන්ගේ අධ්‍යාපනයට කැපකිරීම් කළා...

පෙබ 06, 2019

    පාසල් අධ්‍යාපනය වෙනුවෙන් රජය පහසුකම් සලසන විට එම පහසුකම් ද ප්‍රයෝජනයට ගෙන දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීමට ගුරු -විදුහල්පතිවරුන්ට, දෙමාපියන්ට මෙන්ම පාසල් දරුවන්ට වගකීමක් හා යුතුකමක්, ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    අනුරාධපුර, කනදරා, කටුකැලියාව මුස්ලිම් මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඊට වැයකළ මුදල රුපියල් මිලියන දෙකක්. 


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා... 

    "පවතින ආණ්ඩුව වගේම පැවති ආණ්ඩු සියල්ලක්ම ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරලා තියෙනවා. පාසල්වල දියුණුව වෙනුවෙන් රජය කටයුතු කරන කොට අපි බලාපොරොත්තු වෙන එක් කාරණයක් තිබෙනවා. මේ සියලු සම්පත් ලබා දීලා අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.

    මේ පහසුකම් ලැබෙන්න විට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දරුවන්ගේ අධ්‍යාපන මට්ටම උසස් කරන එකයි වගකීම වන්නේ.අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාරණය. ඒ හා සමානව දෙමාපියන්ගෙන් ඉටු විය යුතු වගකීම් හා යුතුකම් තියෙනවා.

    පාසල් ගේට්ටුවෙන් දරුවන් පාසලට ඇතුළත් කළාට පස්සේ දැන් මේ ළමයි ටික විදුහල්පතිතුමන්ට, ගුරුවරුන්ට භාරයි කියලා හරියන්නේ නෑ, දෙමාපියෝ පිටිපස්සෙන් ඉන්න ඕන,දරුවෝ පාසල් ගිහින් ඉගෙන ගන්නවාද , මොනවද කරලා තියෙන්නේ කියලා හොයලා බැලුවොත් තමයි දරුවන්ට ශක්තියක් වෙන්නේ ඉගෙන ගන්න.

    ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් දරුවොත් හිතන්න ඕන අපිට ඉස්කෝලේ යන්න තියෙන්නේ අවුරුදු 13 යි, වැඩි කාළයක් නෑ,  අවුරුදු 60-70 ක් ජීවත් වුණත් ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු 13 යි, ඒ කෙටි කාළය තුළ හරියට ඉගෙන ගත්තොත් ගමට වගේම රටට හයියක් වෙන්න පුළුවන්කම තියෙනවා.

    ඒ නිසා පාසල් දරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා, අපි මේ ලබා දෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන හොඳ අධ්‍යාපනයක් ලබලා, අධ්‍යාපන මට්ටම උසස් කර ගෙන පාසලට, ගමට, රටට ගෞරවයක් වෙන්න...."

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 12:33

    Latest News